කම්කරු නීතියේ සඳහන් සේවකයන් වර්ග

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශවල සේවය නියුතු අය කෙරෙහි කම්කරු නීතිය බලපානවා. එම කම්කරු නීතිය ක්‍රියාවට නැංවීමේදී සේවකයන්ගේ සේවා නියුක්තියේ ස්වභාවය ඊට සෘජුවම බලපානවා. විවිධ ස්වභාවයේ සේවා නියුක්තිය අනුව එහිදී විවිධාකාර අයිතිවාසිකම් නිර්මාණය වී තිබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.
ස්ථිර සේවකයන්
ස්ථිර ස්ථිර සේවකයෝ විශ්‍රාම යන වයස දක්වා සේවයේ නියුතු වීමට අයිතියක් ලබනවා. ස්ථිර සේවකයෙක් යන්න තීරණය කිරීමට පත්වීම් හෝ සේවයේ ස්වභාවය වැටුප් ලබන ආකාරය සේවය බඳවා ගැනීමේ දී නියම කළ කොන්දේසි සැලකිල්ලට ගන්නවා. ස්ථිර සේවකයන් ස්ථිර සේවා ගිවිසුමකින් බැඳී ඇති බව කම්කරු නීතිය තුළ පිළිගන්නවා. මෙම සේවකයෝ සියලු කම්කරු වරප්‍රසාද වලට හිමිකම් කියනවා. පාරිතෝෂික මුදල් සේවක අර්ථ සාධක මුදල් සේවක භාරකාර අරමුදල් කම්කරු වන්දි ආදිය ඒ අතර වෙනවා.
ස්ථිර කාල සේවකයන්
Fixed term employee යනුවෙන් හැඳින්වෙන්නේ මෙම සේවකයන්. මේ යටතට ගැනෙන ඔවුහු ස්ථිර කාල සේවා ගිවිසුම් වලට ඇතුළත්ව සිටිනවා. සේවකයාගේ සේවය යම් කාලයක ඇරඹී තවත් කාලයකදී අවසන් වන බව යම් සේවා ගිවිසුමක සඳහන් වෙනවා නම් එය ස්ථිර කාල සේවා ගිවිසුමක් වෙනවා. මෙම සේවා ගිවිසුමකට යටත් සේවකයන්ට තම සේවා ගිවිසුම් කාලය ඉක්ම ගිය පසු සේවය දිගුකිරීමට ඉල්ලීමේ අයිතියක් නැහැ. නමුත් වරින් වර සේවා දිගු කිරීම් ලබාදී ඇත්නම් එලෙස සේවා දිගුවක් ලැබීමේ අයිතියක් ඇති බව ඔප්පු කර පෙන්වීමට උත්සාහ කළ හැකි වෙනවා. සාමාන්‍ය සිරිතක් ලෙස ඉහළ මට්ටමේ තනතුරු සඳහා බඳවා ගනුයේ මේ ආකාරයේ ස්ථිර කාල සේවකයන්.
පරිවාසී සේවකයන්
කිසියම් සේවයක් සඳහා සේවයේ යෙදී සිටියදීම යම් ප්‍රවීණතා මට්ටමක් උපයා ගැනීමට අවශ්‍ය වන විට බොහෝ අවස්ථාවන්වල පරිවාස කාලසීමාවට යටත්ව සේවකයන් බඳවා ගන්නවා. සේවකයා තවදුරටත් තබා ගන්නේද නැද්ද තීරණය කිරීමට පරිවාස කාල කාලය අවසානයේදී සේවායෝජකයාට බලයක් තියෙනවා. එසේම පරිවාස කාල සීමාව අවසානයේ ප්‍රවීණතා මට්ටමකට එළඹ යුතු යැයි නියම කිරීමට ද සේවායෝජකයාට බලය තියෙනවා.
අනියම් සේවකයන්
කිසියම් රැකියාවක් හෝ සේවා නියුක්තියක් සඳහා කඩින් කඩ අවශ්‍ය වන සේවකයන් අනියම් සේවක ගණයට ගැනෙනවා. අනියම් සේවකයකු ද නැද්ද සලකා බැලීමේදී සේවකයා නිතිපතා සේවය යොදවා ඇද්ද නැද්ද ඔහුට සතිපතා මාස්පතා පඩි ගෙවන්නේද නැද්ද ඔහු රැකියාවේ අත්‍යවශ්‍ය අංගයක් නියෝජනය කළේ ද නැද්ද යන්න සලකා බලනවා. නිතිපතා සේවයට පැමිණීමේ යුතුකමක් අනියම් සේවකයා වෙත පැන නගින්නේ නැහැ වගේම තමන් නැවත සේවය පිහිටුවන ලෙස බලපෑම් කිරීමටත් ඔහුට අයිතියක් නැහැ.
කාලීන සේවකයන්
හෝටල් ක්ෂේත්‍රය වැනි කලින් කලට සේවකයන් අවශ්‍ය සමහර අවස්ථාවන් වලදී කාලීන සේවා නියුක්තිය දක්නට ලැබෙනවා. කාලීන සේවකයන් ඍතුමය සේවකයන් ලෙස හදුන්වනවා. කාලීන සේවකයාගේ සේවා ගිවිසුම තම සේවා වාරය අවසන් වන විට නැතිවී යනවා. නැවත ඊළඟ සේවා වාරයේදී අලුත් සේවා ගිවිසුමක් ඇති කර ගත යුතු වෙනවා.
ආධුනිකයන්
ආධුනිකයන් යනු කිසියම් රැකියාවක් පුහුණුවීමට වෘත්තීය නිපුනත්වයක් ළඟා කරගැනීමට යම් ආයතනයක් වෙත පැමිණිය අය. එබැවින් ඔවුන් ආයතනයේ සේවකයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකියි. අභ්‍යාසලාභීන් පුහුණුවන්නන් ආදී ලෙස ඔවුන්ව හඳුන්වනවා. ආධුනිකයන්ට තම පුහුණු කාලය අවසානයේ ස්ථිර පත්වීම් ලබා දෙන ලෙස බලපෑම් කළ හැක්කේ ඔවුන් සේවය සඳහා ලබා ගැනීමේදී එබදු පොරොන්දුවක් සේවායෝජකයා විසින් ලබාදී ඇත්නම් පමණයි. අනෙක් විට රැකියා පුහුණුව අවසානයේ ආධුනිකයාගේ සේවය අවසන් කිරීමට සේවායොජකයාට අයිතියක් තියෙනවා.
ස්වාධීන ගිවිසුම්කරුවන්
කිසියම් පුද්ගලයෙකුගේ හෝ කිසියම් ආයතනයක යම් නිශ්චිත කාර්යයක් මුදලකට ඉටු කිරීමට භාර ගත් අයෙක් ස්වාධීන ගිවිසුම්කරුවකු ලෙස හැඳින්වෙනවා. මොවුන් හා සේවකයෙකු අතර වෙනස පහසුවෙන් හඳුනාගත හැකියි. ස්වාධීන ගිවිසුම් කරුවන් සේවයට යොදවා ගන්නේ තමන්ට අයත් උපකරණ පමණයි. ඔවුන් තමන්ගේම අත්උදව්කරුවන් ප්‍රයෝජනයට ගන්නවා. වැඩ අනුව ගැනීමක් මිස වැටුප් ගෙවීමක් ලැබෙන්නේ නැහැ. තමන් කාර්යය ඉටු කරන අන්දම තීරණය කිරීමේදී සැලකිය යුතු බලයක් ස්වාධීන ගිවිසුම්කරුට හිමි වෙනවා. ඒ නිසා ස්වාධීන ගිවිසුම් කරුට සේවක අර්ථ සාධක ආදි කම්කරු වරප්‍රසාද කිසිවක් අදාළ වන්නේ නැහැ.
by Dilki Shamani
Photo Source: Internet
2243 Views
Comments