රන් සම්මානයක් සමඟ ඉන්දියාවේ සංචාරයක් දිනූ අපූරු තේ දළු නෙලන්නිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

රන් සම්මානයක් සමඟ ඉන්දියාවේ සංචාරයක් දිනූ අපූරු තේ දළු නෙලන්නිය

රන් සම්මානයක් සමඟ ඉන්දියාවේ සංචාරයක් දිනූ අපූරු තේ දළු නෙලන්නිය

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේද ඉහළ නමක් දිනාගත් හේලීස් සමාගම විසින් පසුගිය දිනයක වතු ජනතාව වෙනුවෙන් සහ ඔවුන්ගේ මෙහෙය ඇගයීම වෙනුවෙන් අපූරු තරගාවලියක් සංවිධානය කරන ලදී. වතුකරයේ ජනතාව යන නම ඇසූ පමණින් ම ඕනෑම කෙනෙකුගේ සිහියට එන්නේ තේ කර්මාන්තයයි. ඉපැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වශයෙන් සැලකුණු තේ අපනයනය අද වනවිට ශ්‍රී ලංකාවේ තෙවැනි ආදායම් මාර්ගය බවට පත් වී තිබේ.

 

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන දායකත්වයක් දරන ඇඟලුම් කර්මාන්තයේ මෙන්ම තේ කර්මාන්තයේද ප්‍රධාන භූමිකාව නිරූපණය කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. නමුත් තේ දළු නෙළන්නියකට මෙතෙක් කාලයකට කිසිදු හෝ අැගයීමක් නොලැබීම දුක්වීමට කාරණාවකි. එවන් පසුබිමකදී තේ දළු නෙලන්නිය අගය කිරීමේ උත්සාහයක් hayleys වැවිලි සමාගමේ සැලැස්මක් අනුව පසුගියදා රදැල්ල වත්තේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කම්කරු සේවාවන් සොයා යාමේ ප්‍රවණතාවයක් හේතුවෙන් උඩරට වතු සමාගම් කම්කරු හිඟයට මුහුණ දෙමින් සිටි බැවින් හේලීස් සමාගම මෙම පියවර ගෙන තිබේ. හොඳම තේ දළු නෙලන්නිය තෝරාගැනීමට තලවකැලේ, කැළණිවැලි සහ හොරණ යන වතු සමාගම් එක්ව මෙම තරඟය පවත්වන ලදී. මෙම තරගයේ පැවති සුවිශේෂිත්වය වන්නේ හොඳම තේ දළු නෙලන්නියට හිමිවන සම්මානයට අමතරව තමාගේ පවුලේ සාමාජිකයන් සමඟ ඉන්දීය සංචාරයක් සඳහා ද හිමිකම් ලැබීමයි. එබැවින් එම ප්‍රදේශවල තේ දළු නෙලන්නියන් රැසක්ම තරගය සඳහා ඉදිරිපත් වූයේ දැඩි උනන්දුවෙනි. අවසානයේදී තරගයේ ජය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූයේ තලවකෙලේ බෙයාර්විල් වත්තේ ෆෙයාර්විල් කොටසේ සේවිකාවක වන හතළිස් පස් හැවිරිදි කොලුන්ඳුවෙල් පලනි සෙල්වි මහත්මියයි. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය තමාට ලැබුණු අවස්ථාව පිළිබඳව පසුවූයේ ඉමහත් සතුටකිනි.

 

 

මෙම තරගයේදී විනාඩි 20 කදී දළු කිලෝ ග්‍රෑම් 9.70ක් නෙලමින් 88.63% ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්නට සෙල්වි මහත්මිය සමත් වූවාය. මෙහිදී ඇය විසින් ප්‍රකාශ කරන ලද්දේ ඇයට දිනකට තේ දළු කිලෝ 75ක් පමණ නෙලීමට හැකියාවක් පවතින බව යි. ඇයගේ සැමියා ද එම වත්තේම කම්කරුවෙක් වශයෙන් සේවය කරයි. ඇගේ ජයග්‍රහණයේ රහස වශයෙන් ඇය විසින් සදහන් කරන ලද්දේ කුමන කාර්යයක් සිදු කළ ද එය හරියට කිරීම සහ එම කාර්යය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආදරයකින් පසු වීමත්ය. මෙම දිරිය කාන්තාව සියලුම දෙනාට ආදර්ශයකි. කෙතරම් ආර්ථික අපහසුතා පසුබැසීම් තමාගේ ජීවිතයට පැමිණිය ද ඉන් පසුබට නොවී සිය පවුලේ උන්නතිය උදෙසා ඇය විසින් නිරන්තරයෙන්ම වෙහෙස වූවා ය. හේලීස් සමාගම විසින් සිදුකළ මෙම ජාතික සත්කාරය ද මෙහිදී අගය කල යුතුම වන්නේය. තමාගේ ලාභ අරමුණු පමණක්ම නොව සේවකයන්ගේ සතුට වෙනුවෙන් ද යමක් කළ යුතුම බව ඔවුන් මෙහිදී සමස්ත ව්‍යාපාර ප්‍රජාවට ම පසක් කරන ලදී.

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

710 Views

Comments

arrow-up