සෝයාමීට් මැල්ලුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

සෝයාමීට් මැල්ලුම

සෝයාමීට් මැල්ලුම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් අමුතු කෑමක් හදන විදිහ. අපි වෙනදට උයලා, ඩෙවල් දාලා හදන සෝයා මීට් වලින් මැල්ලුමක් හදාගන්න විදිහ තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ. මේකට අපි කූනිස්සො එහෙම දාලා තමයි හදන්නෙ. හරිම රසයි! හැමදාම සෝයා මිට් එකම විදිහට හදලා කන එකේ මේ විදිහට එකපාරක් හදලා බලන්නකෝ.

 

අවශ්‍ය දේවල් :

 

  • සෝයා මීට් 300g
  • කූනිස්සෝ 50g (සෝදා පිරිසිදු කර ගෙන වතුර මිරිකා ගන්න.)
  • සිහින්ව ලියා ගත් තක්කාලි ගෙඩි ½ - 1ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
  • ගා ගත් පොල් 75g - 100g
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 5 - 7ක් පමණ
  • සුදුලූණු බික් 3 - 4ක්
  • රම්පේ
  • කරපිංචා
  • කුඩා කුරුඳු පොතු කෑල්ලක්
  • කුඩා ඉඟුරු කැබැල්ලක්
  • කහ කුඩු ස්වල්පයක්
  • අබ තේ හැදි ¼ - ½ ක් පමණ
  • අමු මිරිස් කරල් 2 - 3ක්
  • කෑලි මිරිස් තේ හැදි ½ ක් පමණ (කැමති නම් පමනක්)
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් (රස අනුව)
  • ලුණු (රස අනුව)
  • පොල් තෙල් මේස හැදි 2 - 3ක්

 

සාදා ගන්නා ආකාරය :

 

මුලින්ම සෝයා මීට් ටික ග්‍රයින්ඩරයකින් යන්තමින් කෑලි සිටින සේ කුඩු කර ගන්න. පසුව ගා ත් පොල්, සුදුලූණු, ඉඟුරු, අබ හා අමු මිරිස් එකට දමා ගලේ අඹරා ගන්න. නැත්තම් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන් පසුව කුඩු කර ගත් සෝයා මීට් ටික විනාඩි 5 - 8ක් පමණ වාෂ්පයෙන් තම්බා ගන්න. ඕනාවට වඩා ස්ටීම් කරන්න යන්න එපා. දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් ටික දා ගන්න. තෙල් රත් වී ගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කෑල්ල සහ රතු ලූණු එක් කර යන්තමින් තෙම්පරාදු කර ගන්න. එයටම කූනිස්සෝ ටික, තක්කාලි සහ කහ කුඩු දමා ගෙන තෙම්පරාදු කර ගන්න. කෑලි මිරිස් එකතු කරනවා නම් මෙයටම එක් කරන්න.

 

ඊළඟට සෝයා මීට් ටික හා අඹරා ගත් මිශ්‍රණය එකතු කරන්න. එයටම රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු දා ගෙන කලවම් කරන්න. ඉන් පසුව මිශ්‍රණය හොඳින් මලවා ගෙන ලිපෙන් බා ගෙන උණුවෙන්ම රස විදින්න. කූනිස්සන් වෙනුවට උම්බලකඩ ටිකක් එක් කර ගන්න පුළුවන්. මේ විදියට හදලා සෝයාමීට් මැල්ලුම ඔබත් රස බලන්න.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

648 Views

Comments

arrow-up