ක්‍රීම් සෝස් පැස්ටා - Cream sauce pasta
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

ක්‍රීම් සෝස් පැස්ටා - Cream sauce pasta

ක්‍රීම් සෝස් පැස්ටා - Cream sauce pasta

හොඳ ඉතාලියානු හෝටලයකින් හරි රෙස්ටුරන්ට් එකකින් හරි පවුලේ හැමෝටම පැස්ටා අරන් දෙන්න හිතෙනවද ? විශේෂයෙන්ම ඔයාලගේ පොඩ්ඩන්ට?

ඒත් ඒ වගේ තැන් වලින් පැස්ටා ගන්න තරම් ආර්ථිකයක් මේ දවස් වල නෑ. ඒ නිසාම අද අපි ඔයාලට ඉතාලියානු ක්‍රමයට සකස් කළ හැකි සුපරි පැස්ටා එකක් නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා.

පොඩ්ඩන්ගේ කෑම පෙට්ටියටත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට පොඩ්ඩොන්ගෙ යාළුවන්ගෙ අම්මලාගෙන් නම් ටිකක් කරදර වෙයි. කොහොමද හැදුවෙ කියලා ඔයාගෙන් අහනකොට. එයාලටත් මේ රෙසපිය ගැන කියන්න.

 

 


අවශ්‍ය ද්‍රව්‍ය,
 

  •  ඔයාලා කැමති වර්ගයක පැස්ටා කෝප්ප 02 ක් ( හොඳින් තම්බා ගන්න )
  •  කුකුල් මස් ග්‍රෑම් 100 ක් ( සම රහිත මස් ගෙන අඟල් බාගයක පමණ කැබලි කපා ගන්න )
  •  පොඩි ඉස්සො ග්‍රෑම් 50 ක් ( හැකිනම් පමණක් අරගන්න. තම්බා පොතු ඉවත් කරගන්න අවශ්‍යයි )
  •  ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/2 ක් ( සුපර් මාර්කට් වල මිලදී ගන්න තියෙනවා )
  •  තක්කාලි සෝස් කෝප්ප 1/2 ක් ( හොඳ උකු තක්කාලි සෝස් එකක් ගන්න )
  •  සිහින්ව ලියාගත් බී ළූණු ගෙඩියක්
  •  සිහින්ව ලියාගත් සුදු ළූණු තේ හැඳි කාලක්
  •  අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
  •  බටර් තේ හැඳි 05 ක්
  •  හීනියට ලියාගත්ත පාස්ලි තේ හැන්දක් ( පොඩ්ඩා අකමැති නම් දාන්න එපා , ළූණු කොළ වගේ දෙයක් මේ වෙනුවට ගන්නත් පුළුවන් )
  •  පාමසන් චීස් හැන්දක් ( චෙඩාර් චීස් හරි කමක් නෑ )


සාදාගන්නා ආකාරය,

භාජනයක් ගෙන එය අඩු ගින්දරේ තබන්න. රත්වූ මේ භාජනයට බටර් තේ හැඳි 05 ක් දමන්න. බටර් දියවේගෙන එනවිට සුදු ළූණු ටික එයට එකතු කරන්න. එයටම බී ළූණු ටිකත් දමා හොඳින් කලවම් කරන්න.

ටිකක් බැදෙන්නට ඉඩ හරින්න. දැන් සෝදා කපා ගත්ත කුකුල් මස් ටිකත් , පොතු ඇරගත්ත ඉස්සො ටිකත් දමා ගන්න. හොඳින් දෙපැත්ත පෙරලමින් අඩු ගින්දරේම රන්වන් පැහැය වෙනකන් හොඳින් බැදගන්න.

 


කුකුල් මස් හා ඉස්සො ටික බැද අවසානයේ ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකත් තක්කාලි සෝස් ටිකත් දමාගෙන හොඳින් කලවම් කරගන්න. එයටම පාස්ලි හෝ ළූණු කොළ ටික දමා ගන්න. දැන් අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණු සහ ගම්මිරිස් ටික දමා ක්‍රීම් සෝස් එකේ රස බලන්න.

රස හරි නම් තම්බාගත් පැස්ටා ටික එයට එකතු කර හොඳින් කලවම් කර ගන්න. සාදාගත් ක්‍රීම් සෝස් පැස්ටා එක ලිපෙන් බා ගෙන පිගානකට දමා උඩින් පාමසන් චීස් හෝ චෙඩාර් චීස් ටික ග්‍රේට් කර ඉසගන්න.

උණු උණුවෙන්ම කෑමට ගෙදර අයට පිළිගන්වන්න. නැත්නම් පොඩ්ඩන්ගේ කෑම පෙට්ටියට දාන්න. පොඩ්ඩො රස කර කර කයි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

531 Views

Comments

arrow-up