මාරි බිස්කට් වලින් රසවත් කෑම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

මාරි බිස්කට් වලින් රසවත් කෑම

මාරි බිස්කට් වලින් රසවත් කෑම

මාරි බිස්කට් කියන්නේ පොඩි අය ගොඩක් ආස කරන බිස්කට් වර්ගයක් නේ. හැමදාමත් මේ බිස්කට් කන්නෙ නිකන් නේ. බිස්කට් වලින් වෙනස් ආකාරයට කෑමක් තිබ්බොත්? ඉතින් අද අපි ඔයාලට මාරි බිස්කට් වලින් හදාගන්න පුළුවන් රෙසපි කිහිපයක් අරගෙන ආවා. හැමදාම නිකන්ම මාරි බිස්කට් පොඩ්ඩන්ට දෙන්නෙ නැතුව වෙනසක් කරලා හදලා දෙන්න.

 

මාරි බිස්කට් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  මාරි බිස්කට් ග්‍රෑම් 250 ක්
  •  කිරි මේස හැඳි 04 ක්
  •  බටර් ග්‍රෑම් 250
  •  චොකලට් ග්‍රෑම් 600 ක්
  •  මුදරුස්පලම් ග්‍රෑම් 50 ක්
  •  කජු ග්‍රෑම් 50 ක්

 

සාදාගන්නා ආකාරය,

 

මාරි බිස්කට් ටික කුඩා කැබලි වලට කඩා පසෙකින් තබන්න. භාජනයක් ලිප තබා එයට කිරි , චොකලට් සහ බටර් එකතු කර හොඳින් දිය කර ගෙන ලිපෙන් ඉවතට ගන්න. ඉවතට ගත් මිශ්‍රණයට මාරි බිස්කට් , කජු සහ මුදරුස්පලම් ටික එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු කේක් තැටියක් ගෙන එහි බටර් ස්වල්පයක් ආලේප කර එයට සාදාගත් මිශ්‍රණය දමා පැය 6 ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු කලින් අපි මාරි බිස්කට් නොදා සකස් කර ගත් ආකාරයට චොකලට් මිශ්‍රණයක් නැවතත් වෙනම අමුද්‍රව්‍ය යොදා සකසා ගෙන එය සාදාගත් බිස්කට් කේක් එක උඩින් දමා නැවත පැය දෙකක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න.

 

> මාරි බිස්කට් චොකලට් රෝල්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  මාරි බිස්කට් පොඩි පැකට් 02 ක්
  •  අයිසින් සීනි කෝප්ප 01යි මේස හැඳි 02 ක්
  •  බටර් මේස හැඳි 03 ක් ( දියකරගත් )
  •  ඩෙසිකේටඩ් කොකනට් ( සුපිරි වෙළඳසැල් වලින් ගත හැකියි )
  •  වැනිලා ස්වල්පයක්
  •  චොකලට් පවුඩර් මේස හැඳි 03 ක්

 

සාදාගන්නා ආකාරය,

 

මාරි බිස්කට් ටික කුඩු කරගෙන එයට චොකලට් පවුඩර් සහ අයිසින් ෂුගර් මේස හැඳි 02 ක දමා කිරි ටික ටික එකතු කරමින් ඝන මිශ්‍රණයක් සකස් කරගන්න. ඩෙසිකේටඩ් කොකනට් ටික ගෙන එය බ්ලෙන්ඩ් කර ගෙන එයට ඉතුරු අයිසින් ෂුගර් ටික, වැනිලා සහ බටර් යොදා හොඳින් මිශ්‍ර කරන්න. ලන්ච් ෂීට් එකක් ගෙන එයට බිස්කට් මිශ්‍රණය අතුරා තුනී කරගෙන එයට උඩින් සාදාගත් ඩෙසිකේටඩ් කොකනට් මිශ්‍රණය දමා ගන්න. ඉන්පසු ලන්ච් ෂීට් එක කෙලවරේ සිට හෙමින් රෝල් කර ෆොයිල් කොළයක ඔතා ශීතකරණයේ පැය 5 ක් පමණ තබා ඉවතට ගෙන ෆොයිල් කොළය ඉවත් කර පිළිගන්වන්න.

 

> මාරි බිස්කට් චොකලට් මිල්ක්ෂේක්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  මාරි බිස්කට්
  •  කිරි කෝප්පයක්
  •  චොකලට් පවුඩර් ස්වල්පයක්
  •  අයිස් ක්‍රීම් ස්වල්පයක්
  •  අවශ්‍ය ප්‍රමාණයට සීනි

 

සාදාගන්නා ආකාරය,

 

සියළුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගෙන ශීතකරණයේ තබා පිළිගන්වන්න.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1135 Views

Comments

arrow-up