අමුද්‍රව්‍ය තුනකින් මොසරැල්ලා චීස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

අමුද්‍රව්‍ය තුනකින් මොසරැල්ලා චීස්

අමුද්‍රව්‍ය තුනකින් මොසරැල්ලා චීස්

ලොකු , කුඩා වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් කන්න කැමතිම ආහාරයක්නේ චීස් කියන්නේ. එහි ඇති කිරි රස නිසාම තමයි ගොඩාක් දෙනෙක් කන්නට කැමති පොඩ්ඩන්ට නම් නම ඇහුවත් ඇති නෙ. මේ චීස් ගත්තම වර්ග ගොඩාක් තිබෙනවා. හොඳයි අද අපි කතාබහ කරන්නේ විශේෂ චීස් වර්ගයක් ගැන. මොසරැල්ලා චීස් සාමාන්‍යයෙන් පීසා හා වෙනත් ආහාර වර්ගවලට බොහෝ සෙයින් භාවිතා කරන දෙයක්. ඒත් මේ චීස් වර්ග හොයන්න ගියාම තමයි ඉතින් උයන එකත් නතර කරන්නට හිතෙන්නෙ. ඉතින් ඔන්න අපි එයට පිළියමක් හැටියට සෞඛ්‍යාරක්ෂිතව පෝෂණ ගුණයෙන් පිරුණු මේ මොසරැල්ලා චීස් නිවසේදීම පහසුවෙන් හදාගන්න ක්‍රමය අරගෙන ආවා. දැන් ඉතින් චීස් හොයන්න යන්න ඕන නෑ. ඒ වගේම මෙය සකස් කරගන්නට අපිට අවශ්‍ය වෙන්නෙත් අමුද්‍රව්‍ය 03 ක් වගේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

 

  •  එළකිරි මිලිලීටර් 250
  •  සුදු විනාකිරි මිලිලීටර් 20
  •  ලුණු රස අනුව ස්වල්පයක්

 

සාදන ආකාරය,

 

මුලින්ම හොඳ පිරිසිදු භාජනයක් මඳ ගින්දරේ ලිප තබා ගන්න. එයට කිරි ටික දමා උණුකරගන්න. මේ කිරි රත් කර යුත්තේ මද ගින්දරේ බව හොඳින් මතක තියාගන්න. දැන් මේ කිරි ටික හොඳින් උණු වේගෙන එනවිට විනාකිරි ටිකෙන් බාගයක් විතර මෙයට එකතු කරගන්න. මෙසේ කිරි වලට විනාකිරි එකතු කරගෙන ටික ටික මේ කිරි කැටි ගැහෙන්නට පටන් ගන්නවා. මෙසේ කැටි ගැසී එනවිට ඉතිරි විනාකිරි ටිකත් එකතු කරගන්න ඕන. හෙමින් කලවම් කරමින් කැටි ගැසුණු කොටස් භාජනයේ එක් පැත්තකට එකතු කරමින් කිරි හා ජලය වෙන් වෙන තුරු හොඳින් රත් කරගන්න.

 

 

කොටස් දෙක වෙන් වූවාට පසුව භාජනය ලිපෙන් ඉවත් කර පිරිසිදු කපු රෙදි කැබැල්ලක් භාජනයක කටට දමා එයට අප සකස් කරගත් මිශ්‍රණය දමා පෙරා ගන්න. දැන් රෙදි කැබැල්ල එකතු කර හොඳින් අඹරමින් කිරි කැටි ටික ගුළියක් එන අයුරින් සකස් කරගන්න. ඊළඟට උණු වතුර ටිකක් ගෙන එයට ලුණු ස්වල්පයක් දමා අප සකස් කර ගත් ගුළිය හොඳින් සෝදා මිරිකා ගත යුතුයි. මෙලෙස තුන් හතර වතාවක් මෙම කිරි කැටි ගුළිය සේදීම කළ යුතුයි. අවසානයේ අයිස් වතුරට එය දමා සෝදා හොඳින් මිරිකා ගන්න.

 

දැන් අප සකස් කරගත් මොසරැල්ලා චීස් ගුළිය ක්ලිං රැප් එකක හෝ ලන්ච් ෂීට් එකක ඔතා ශීතකරණයේ තියාගන්න. ශීතකරණයේ සමාන්‍ය කොටසෙහි දින තුන හතරක් වගේම අධි ශීතකරණයේ ඊට වඩා දවසක් දෙකක් පමණ වැඩිපුර කල්තබා ගන්නටත් පුළුවන්. ඔබ කැමති නම් ටිකක් වැඩිපුර ප්‍රමාණයක් සාදා තබාගත හැකි අතර අප පෙර දුන් අමුද්‍රව්‍ය ප්‍රමාණයන් වැඩිකර ලබා ගන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1312 Views

Comments

arrow-up