සෑන්ඩ්විච් බ්‍රෙඩ් පීසා - Sandwitch Bread Pizza

පීසා කිවුවම අපි කොයි කවුරුත් ගොඩක්ම කැමති කෑමක් නෙ. විශේෂයෙන්ම පොඩ්ඩන්ට පීසා කිවුවම වෙන මුකුත් ඕනි නෑ. ඒත් ඉතින් හැමදාම පීසා කන්න පුළුවන්ද මොකද පීසා කියන්නෙ ටිකක් මිල අධික කෑමක් නෙ.
අනික උදේ ඉස්කෝලෙ යන වේලාවට මොන පීසා ද ? ඒත් මේ විදිහට පහසුවෙන් පීසා හදලා දුන්නොත් පොඩ්ඩන්ට උදේට විතරක්ම නෙමෙයි හවස තේ වෙලාවටත් හදලා රස බලන්න දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රෙසපිය හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය,
- සෑන්ඩ්විච් පාන් පෙති 02 ක්
- මොසරැල්ලා චීස් තේ හැඳි 06 ක් ( සුපර් මාර්කට් වල මේ චීස් එක ගන්න තියෙනවා )
- සොසේජස් කරල් 02 ක්
- හොඳින් ඉදුණු පුංචි තක්කාලි ගෙඩියකින් කපාගත් පෙති 06 ක්
- කොළ හා කහ පාට බෙල් පෙපර් තීරු 08 ක් පමණ ( සුපර් මාර්කට් වල ගන්න තියෙනවා )
- තරමක් ලොකුවට කපාගත්ත බී ළූණු පෙති 06 ක්
- පීසා සෝස් එහෙමත් නැත්නම් තක්කාලි කෙචප් හෝ තක්කාලි සෝස් තේ හැඳි 04 ක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම සොසේජස් ටික බටර් ටිකක් දමා යන්තමින් බැදගන්න. පොඩි පෙති කපා ගන්න. දැන් පාන් පෙති දෙක ගෙන වටේ වාටිය කපාගන්න. මේ පාන් පෙති උඩ පීසා සෝස් එහෙමත් නැත්නම් තක්කාලි සෝස් තවරා ගන්න. එක පෙත්තකට තේ හැඳි දෙක ගානෙ ගාන්න.
ඊට පස්සේ මේ පාන් පෙති දෙක උඩ ළූණු පෙති , බෙල් පෙපර් , තක්කාලි පෙති , සොසේජස් පෙති අතුරා යාන්තමින් ලුණු ටිකක් උඩින් ඉසින්න. චීස් තියෙන නිසා ලුණු අවශ්‍යමත් නැහැ. අවසානයට උඩින් මොසරැල්ලා චීස් ටික දමාගන්න.
දැන් මේ පාන් පෙති දෙක වසාගත් නොන්ස්ටික් පෑන් එකක එහෙමත් නැත්නම් අවන් එකක තබා පිසගන්න. අවන් එකේ හදනවා වගේ නෙමෙයි නොන්ස්ටික් පෑන් එකේ හදනවනම් සාමාන්‍ය ගින්දරක පිස ගන්න ඕන. පෑන් එක සම්පූර්ණයෙන්ම වසන්නත් එපා එහෙම වුණොත් ජල වාෂ්ප හැදිලා පීසා එක උඩට වැටිලා පෙගෙන්න පුළුවන්.
චීස් ටික හොඳින් පාන් පෙති උඩ දියවෙන්න අරින්න. උණු උණුවෙන්ම පොඩ්ඩන්ට කන්න දෙන්න. පාසලට යවන්නත් හොඳයි. ලොකු පොඩ්ඩන්ටත් කැමති නම් කන්න පුළුවන්.
by Kaushalya De Silva
Photo source : Internet
749 Views
Comments