කුරක්කන් කැඳ

කඩවල් වලින් සල්ලි දීලා ගන්න කුරක්කන් කැඳ එකට වඩා ගෙදරදිම පිරිසිදුවට සහ රසට ඉතා ඉක්මනින් කුරක්කන් කැඳ එකක් හදාගන්න විදිහ අද අපි ඔයාලට කියලා දෙනවා.
කුරක්කන් ගැන කථා කළොත් ඉතාම රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ තැනක තියෙන ආහාරයක්. විටමින් B , යකඩ , කැල්සියම් , පොටෑසියම් , පොස්පරස් , මැග්නීසියම් , ප්‍රෝටීන් යන පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් කුරක්කන් සමන්විතයි. ප්‍රෝටීන් අධික ලෙස පවතින නිසා පෝෂණය අඩු අයට , අස්ථි දුර්වල අයට , අස්ථි රෝග වලින් පෙළෙන අයට ඉතාමත් හොඳ ආහාරයක්.
ඒ වගේම නිර්මාංශක අයටත් ප්‍රෝටීන් ලබා ගන්න හොඳ ආහාරයක්. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ හැකියාවත් කුරක්කන් වලට තියෙනවා. කුරක්කන් වලින් කැඳ විතරක් නෙමෙයි රොටි , හැලප , තලප, පිට්ටු , ඉඳි ආප්ප වගේ තවත් රසවත් ආහාර සකස් කර ගන්න පුළුවන්.
ඔයාලත් මේ කුරක්කන් කැඳ එක පවුලේ වැඩිහිටියන්ටයි පොඩ්ඩොන්ටයි රස බලන්න අනිවාර්යයෙන්ම හදලා දෙන්න...
අවශ්‍ය ද්‍රව්‍ය,
- කුරක්කන් පිටි පුරවාගත් මේස හැඳි 06 ක්
- පොල් කිරි කෝප්ප 02 1/2 ක්
- හාල් පිටි මේස හැඳි 05 ක්
- රස අනුව ලුණු ස්වල්පයක්
- රස අනුව අවශ්‍ය ප්‍රමාණයට සීනි
- මුදරුස්පලම් ග්‍රෑම් 50 ක් සහ කජු ග්‍රෑම් 50 ක් ( කැමතිනම් පමණක් එකතු කර ගන්න )
සාදාගන්නා ආකාරය,
මුලින්ම හාල් පිටි ටික භාජනයකට දාගෙන වතුර කෝප්ප 01 1/2 ක් දමා දිය කරගෙන පැත්තකින් තියන්න. වෙන භාජනයකට කුරක්කන් පිටි ටික දාගෙන එයට වතුර කෝප්ප 02 1/2 ක් පමණ දමා දිය කරගෙන පැත්තකින් තියන්න.
භාජනයක් හෝ මුට්ටියක් ලිප තබා එයට කලින් දිය කරගත් හාල් පිටි ටික දමා නොනවත්වා හැඳි ගාන්න. ලිප අඩු ගින්දරේ තියාගන්න අමතක කරන්න එපා. ක්‍රීම් එකක් වගේ ටිකක් උකු මිශ්‍රණයක් ලැබෙන විටම ඉක්මනින් ලිපෙන් ඉවතට ගෙන භාජනයකට දමා පසෙකින් තියන්න.
නැවතත් භාජනයක් ලිප තබා එයට දියකරගත් කුරක්කන් පිටි ටික එකතු කර නොනවත්වා හැඳි ගාන්න. විනාඩි 05 ක් පමණ යනවිට හොඳින් කුරක්කන් පිටි ටික තැම්බුනාට පස්සෙ ගොඩක් ඝනත් නැති දියාරුත් නැති මිශ්‍රණයක් එනකොටම කලින් පසෙකින් තැබූ හාල් පිටි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
ඉන්පසු එයට පොල් කිරි ටික එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට රස අනුව සීනි සහ ලුණු එකතු කර ගෙන නටනකම් නොනවත්වා හොඳින් හැඳි ගාන්න ( කැමතිනම් සීනි වෙනුවට හකුරු භාවිතා කරන්නත් පුළුවන් )
හදාගත්තු කැඳ එක නටන කොට ලිපෙන් ඉවතට ගෙන මුදරුස්පලම් සහ කජු ටික එකතු කර කලවම් කරගෙන උණුවෙන්ම පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
2074 Views
Comments