අළුත් රසකට ඔම්ලට්

ලොකු පොඩි කවුරුත් කැමති ඒ වගේම පෝෂණ ගුණය වැඩි කෑමක් තමයි ඔම්ලට් කියන්නෙ. අපි හැමදාමත් එකම විදිහට බිත්තර වලින් කන ඔම්ලට් නැතුව වෙනස් විදිහට හදාගන්න හැටි අපේ ගෘහණියන්ට කියලා දෙන්න එකිනෙකට වෙනස් අළුත්ම රෙසපි දෙකක් ගෙනාවා.
උදේට උයලා ඉතුරු වෙන බත් විසිකරන්නේ නැතුව, දවල්ට කන්න රසවත් ඔම්ලට් එකකුයි ක්‍රීම් ක්‍රැකර් දාලා හදන ඔම්ලට් රෙසපි එකකුයි තමයි අපි ඔයාලට ගෙනාවේ. හදලා බලන්න පවුලේ අයත් එක්ක රස බලන්න.
> රයිස් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය,
- රතු කැකුළු බත් කෝප්පයක්
- බිත්තර 04 ක්
- සිහින්ව ගාගත් කැරට් ස්වල්පයක්
- සිහින්ව කපාගත් ලීක්ස් හෝ ළූණු කොළ ස්වල්පයක්
- අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණු , ගම්මිරිස් සහ කෑලි මිරිස්
- තෙල් හෝ බටර් ස්වල්පයක්
- සිහින්ව කපාගත් ළූණු ස්වල්පයක්
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම බත් වල කැට තියෙනවනම් පොඩි කරගන්න. ඉන්පසු භාජනයක් අරගෙන එයට බිත්තර ටික දාලා ගසාගෙන එයට බත් සහ අනෙකුත් සියළුම අමුද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඊට පස්සේ ඔයාලා ඔම්ලට් හදන පෑන් එක රත් වෙන්න තියලා ඒකට බටර් හෝ තෙල් ස්වල්පයක් දමා කලින් අපි හදාගත්ත මිශ්‍රණය දමා සාමාන්‍යයෙන් ඔම්ලට් හදන විදිහටම සකස් කරගන්න.
පියනකින් වහලා මද වේලාවක් තැම්බෙන්න හරින්න. දෙපැත්තම හොඳින් සකස් වුණාට පස්සේ ඉවතට ගෙන පිළිගන්වන්න.
> ක්‍රීම් ක්‍රැකර් ඔම්ලට් විත් චිකන් ඇන්ඩ් සී ෆූඩ්
අවශ්‍ය ද්‍රව්‍ය,
- ක්‍රීම් ක්‍රැකර් 06 - 07 (කුඩා කැබලි කඩාගෙන)
- බිත්තර 04 ක්
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු , ගම්මිරිස් සහ කෑලි මිරිස් ස්වල්පයක්
- සිහින්ව ගාගත් කැරට් ස්වල්පයක්
- සිහින්ව කපාගත් ළූණු කොළ හෝ ලීක්ස් ස්වල්පයක්
- තලාගත් සුදු ළූණු බික් 02 ක්
- සිහින්ව කපාගත් ළූණු ස්වල්පයක්
- සිහින්ව කපාගත් කරපිංචා ස්වල්පයක්
- කුකුල් මස් , මාළු , ඉස්සො , දැල්ලො පොඩි ප්‍රමාණයක් ( මාළු සහ මස් කටු රහිත විය යුතුයි )
- තක්කාලි සෝස් ස්වල්පයක්
- තෙල් හෝ බටර් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
මුලින්ම මාළු, කුකුල් මස් , ඉස්සො සහ දැල්ලො හොඳින් සුද්දකර සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු පෑන් එකක් ලිප තබා එයට තෙල් හෝ බටර් ස්වල්පයක් දමාගෙන සෝදා පිරිසිදු කර ගත් කුකුල් මස් සහ සී ෆූඩ් ටික එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
තෙම්පරාදු කරන ගමන්ම පොඩි වෙලාවක් පියනකින් වහලා තැම්බෙන්න තියන්න. හොඳින් තැම්බිලා තෙම්පරාදු වෙලා නම් ලිපෙන් ඉවතට ගන්න. වෙන භාජනයක් අරගෙන ඒකට බිත්තර ටික දමා එයට සෝස් , තෙම්පරාදු කර ගත් චිකන් සහ සී ෆූඩ් ටික හැර අනෙක් සියළුම අමුද්‍රව්‍ය එකතු කරගෙන හොඳින් කලවම් කරන්න.
ක්‍රීම් ක්‍රැකර් ටික තරමකට කුඩු කරගෙන බිත්තර මිශ්‍රණයට එකතු කර නැවතත් හොඳින් කලවම් කර ගන්න. පෑන් එකක් ලිප තබා එයට තෙල් හෝ බටර් ස්වල්පයක් දමා සාදාගත් බිත්තර මිශ්‍රණය දාන්න. ඒකට උඩින් කලින් තෙම්පරාදු කර ගත්ත චිකන් සහ සී ෆූඩ් ටික අතුරගෙන ටික වේලාවකින් අනිත් පැත්ත දාලා පිසගන්න.
ඔම්ලට් එක හදාගත්තට පස්සේ ලිපෙන් ඉවතට අරන් සෝස් ටිකක් උඩින් දාගන්න. කැමතිනම් විතරක් චීස් ටිකක් වගේ එකතු කරගත්තොත් තවත් රසවත් වේවී.
by Kaushalya De Silva
Photo source : Internet
735 Views
Comments