පාන් කොත්තු - Bread Kottu
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

පාන් කොත්තු - Bread Kottu

පාන් කොත්තු - Bread Kottu

කොත්තු කන්න අපි හැමෝම වගේ කැමතියි. හැබැයි හදන්න ගියාම ගොඩක් වෙලාව යන නිසා අපි ගොඩක් දුරට පුරුදු වෙලා ඉන්නේ කෑම කඩවල් වලින් ගෙනත් කන්න. මේ දවස්වල කඩෙන් කනවා කියන්නේ එච්චරටම සුදුසු දෙයක් නෙමෙයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

කොත්තු කිව්වම නූඩ්ල්ස් කොත්තු , ඉඳි ආප්ප කොත්තු , චීස් කොත්තු ඔය වගේ වර්ග ගොඩක් තියෙනවා. හැබැයි ඔයාලා කාලා තියෙනවද පාන් කොත්තු ???. ඉතින් ඔන්න අද ඉතා ඉක්මනින් කොත්තු හදාගන්න රෙසපියක් තමයි අපි අරගෙන ආවේ.

කොත්තු හදන්න රොටි හද හද ඉන්න කම්මැලි අයට, වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර එන අයට වගේම හැමදාම පාන් එකම විදිහට කාලා එපා වුණු අයට මේ රෙසපිය ගොඩක් වටීවි කියලා අපි විශ්වාස කරනවා. කඩවල් වලින් කන්නෙ නැතුව පිරිසිදුවට මේ රෙසපිය ගෙදරදිම හදලා අනිවාර්යයෙන්ම පවුලේ අයත් එක්ක රස බලන්න.

 


අවශ්‍ය ද්‍රව්‍ය,

- පාන් ගෙඩියක් ( සැන්ඩ්විච් පාන් හෝ අච්චු පාන් )
- සිහින්ව ලියාගත් ලොකු කැරට් අල 02 ක්
- සිහින්ව කපාගත් ලීක්ස් හෝ ළූණු කොළ ස්වල්පයක්
- තලාගත් සුදු ළූණු ස්වල්පයක්
- තලාගත් ඉගුරු සවල්පයක්
- කරපිංචා ස්වල්පයක්
- බිත්තර 02 ක්
- සිහින්ව කපාගත් බී ළූණු ගෙඩියක්
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 02 ක්
- බටර්, මාගරින් හෝ පොල් තෙල් ස්වල්පයක්
- සාදාගත් චිකන් හොදි ( කැමති ප්‍රමාණයක් )
- රස අනුව ලුණු , ගම්මිරිස් , කෑලි මිරිස්
- සුප් කැටයක් ( කැමතිනම් පමණක් )

 


සාදාගන්නා ආකාරය ,

මුලින්ම පාන් ගෙඩිය පොඩි කැබලි වලට කඩාගන්න. ( අච්චු පාන් ගන්නවනම් පාන් ගෙඩියේ උඩ පොත්ත අයින් කරගන්න. මෙම ඉවත් කළ කොටස් වලින් වියළා පාන් කුඩු සකස් කරගන්නට පුළුවන් )

භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් , බටර් හෝ මාගරින් ස්වල්පයක් දාගෙන රත් වෙනකොට ඒකට තලාගත් සුදු ළූණු , ඉගුරු , කරපිංචා , සිහින්ව කපාගත්තු බී ළූණු , අමුමිරිස් එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කරගන්න. හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ ඒකට බිත්තර දෙක එකතු කරගෙන කෑලි වලට කැඩෙන්න කලවම් කරගන්න.

 


ඊළඟට ගාගත් කැරට් , සිහින්ව කපාගත්තු ලීක්ස් හෝ ළූණු කොළ ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න. මේ ටික තෙම්පරාදු වෙන අතරේ සුප් කැටය , අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් ටිකත් එකතු කරගන්න. සියල්ලම හොඳින් කලවම් කරගෙන තෙම්පරාදු වුණාට පස්සේ ඒකට කලින් කැබලි වලට කඩාගත්ත පාන් ටික එකතු කරන්න.

ඊට පස්සේ සාදාගත් චිකන් හොදි ටිකක් ( කැමති ප්‍රමාණයක් ) එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගෙන උණු උණුවෙන්ම පවුලේ අයට පිළිගන්වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

595 Views

Comments

arrow-up