පදම් කරන ආප්ප තාච්චිය

ආප්ප කන එක හරි ලේසි වැඩක් උනාට ආප්ප උයන්න හරි අමාරුයි. මොකද ගොඩක් වෙලාවට ආප්ප තාච්චියෙන් ගැලවෙන්නේ නැතුව යනවා. නියම විදිහට ආප්ප තාච්චිය පදම් වුනහම ආප්ප හදනකොට තාච්චියට පොඩි තට්ටුවක් දාපුවහම ආප්පෙ නිකන්ම ගැලවෙනවා. එතකොට ආප්පෙ වටේ කර කර ගාලා හැපෙන කරවෙලා තියෙන කොටසට හානියක් වෙන්නෙ නැතුව ආප්පෙ ලස්සනට හදාගන්න පුලුවන්. ආප්ප හදනකොට ආප්පෙ තාච්චියෙන් ගැලවුනේ නැති වුනහම විදින්න ඕනෙ දුක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? එහෙම අවුලක් ගියහම ඊලගට හදන ආප්පත් හරියට ගැලවෙන්නේ නැතිවෙනවා සමහර වෙලාවට. ඉතින් මේ විදියට ආප්ප තාච්චිය පදම් කරලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
• පොල්කුඩු
• වතුර
• මී තෙල් ටිකක්
• මෝරපු බුලත් කොළයක්
• අල්ලෙ තරමට හදාගත්තු රෙදි පොට්ටනියක්
පදම් කරගන්නා ආකාරය
මුලින්ම පොල්කුඩුයි, වතුරයි අලුත් තාච්චියට දාලා තම්බන්න ඕන පැයක් විතර. ඊට පස්සෙ ඒ ටික අයින් කරලා තව පොල්කුඩු ටිකක් අරන් තාච්චියෙ දාලා බදින්න ඕන පොල්කුඩු ටික දුඹුරු පාට වෙනකල්. දැන් බැදපු පොල්කුඩු ටික තාච්චියෙන් අයින් කරලා තාච්චිය හොඳට පිහදාලා මී තෙල් මේස හැන්දක් විතර තාච්චියට දාලා රත්වෙන්න දෙන්න ඕන දුම් දානකල්. තෙල් ටික දුම් දානකොට අල්ලෙ තරමට හදාගත්තු රෙදි පොට්ටනියකට බුලත් කොළයක් තියලා බුලත් කොළේ හොඳ පැත්තෙන් මී තෙල් ටික තාච්චිය වටේම ගාගන්න ඕන. දැන් එවෙලෙම ආප්ප හදන්න පුලුවන්. මී තෙල් සිංහල බේත් බඩු කඩවල ගන්න තියනවා. ගම්වල අය නම් මී ගස් තියනව නම් තෙල් හිඳගන්නවා. මගෙ ගාවත් තියෙන්නෙ එහෙම ගෙදර හිඳපු මී තෙල්. බුලත් කොළේ ගනිද්දි ටිකක් මෝරපු එකක් ගන්න ඕන. බුලත් කොළේ රත් වුණ මී තෙල් වලට දානකොට පුපුරනවා. එතකොට බුලත් කොළේ ඇතුළෙ තියන ඉස්ම එළියට ඇවිත් තෙලට එකතු වෙනවා. ඒ ටික තමා අපි පොට්ටනියක් අරන් ගාගන්නෙ තාච්චියෙ වටේටම. සමහරුන්ට හිතෙයිද දන්නෑ බුලත් සුවඳ ආප්පවලට එකතු වෙිද කියල. ඒත් ආප්ප වල රස වෙනස් වෙන්නෙ නෑ මේකෙන්. ආප්පෙන් ආප්පෙට තාච්චිය පිහදාන්න චුට්ටක් මුලදි. පස්සෙ නිකම්ම ආප්ප ගැලවෙනවා. පොල්කුඩු බදින පියවර වෙනුවට මෙහෙම කරන්න පුලුවන්. ඔයාලට තාච්චියේ පොල්තෙල් ගාල දවසක් දෙකක් තාච්චිය පැත්තකට කරල තියන්න පුලුවන් නම් ඒත් හරි. හැබැයි හදිස්සියෙ ආප්ප හදන්න බෑ එතකොට. දවසක් දෙකක් ඉවසන් ඉන්න වෙනවා. ඉතින් මේ විදියට ඔයාලගේ ආප්ප තාච්චියක් පදම් කරලා බලන්න.
By : Dilki Shamani
Photo Source : Internet
1532 Views
Comments