දියබත් හෙවත් පාලන් කන්ජි

" දියබත් " කිවුවම ගොඩක් දෙනෙක්ට අහලා පුරුදු ඇති , කාලත් ඇති. ඒත් වර්තමානයේ නිවෙස්වල මෙම දියබත සාදා ආහාරයට ගන්නවාද යන්න සැකයක් මතු වෙනවා.
කාර්යබහුල ජීවිතයක් ගෙවන අපේ ලාංකිකයන් දැන් උදෑසන ආහාර වේලට ගන්නේ පාන් , බනිස් වගේ පිටි ජාතිමයි. ඒත් අපේ මුතුන් මිත්තන් ඒ වෙනුවට තම උදෑසන ආහාරයට ගත්තේ " දියබත් " වැනි පෝෂණ ගුණයෙන් අනූන වූ ආහාරයි.
මේ දියබත් සෑදීම ඉතාමත්ම පහසු වුවත් වර්තමානයේ බොහෝ දෙනා මෙය නිවැරදිව සකස් කර ගැනීමට නොදන්නා හෙයින් එම ආහාර වර්ග සාදන්නේ නැහැ. ඒත් ඔන්න අද අපි ඔයාලට " දියබත් " හෙවත් ඉන්දියාවේ පාලන් කන්ජි ලෙස සලකන ආහාරය නිවැරදිව සාදාගන්නා ක්‍රමය කියලා දෙනවා.
අපි ගොඩක් දුරට අසා තිබෙන්නේ මේ දියබත ගෑස්ට්‍රයිටිස් රෝගීන්ට ඉතාමත් ගුණදායක බවයි. ඔව්, එය නිවැරදියි. ඒත් ඊට අමතරව දියවැඩියා රෝගීන්ටත් , ගර්භාෂ ගත රෝග ඇති අයටත් මල බද්ධය , තරබාරුකම නැති කිරීම මෙන්ම උෂ්ණ රෝග වළක්වා ගැනීමටත් මෙම දියබතට හැකියාව තිබෙනවා.
ඒ විතරක්ම නෙමෙයි ශරීරයේ විෂ නසන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත්, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමටත්, ආර්තවහරණය නිසාවෙන් ඇති වන අපහසුතාවයන් මඟ හරවා ගැනීමටත් පුරුෂ ශක්තිය වර්ධනයටත් යන කාරණා සියල්ලටම හේතු වනවා.
අවශ්‍ය ද්‍රව්‍ය,
- පෙර දින ඉතිරි වූ බත් කෝප්ප 02 ක් ( රාත්‍රියේදීම බත වැසෙන ප්‍රමාණයට ජලය දමා තබන්න. ශීතකරණයෙහි තබන්න එපා )
- සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි කිහිපයක්
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් කිහිපයක්
- කරපිංචා කොළ කිහිපයක්
- පොල් කිරි කෝප්ප 01 ක්
- රස අනුව ලුණු සහ දෙහි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය,
උදෑසනම පෙර දින පෙගෙන්නට තැබූ බත් වල ජලය හොඳින් පෙරා ඉවත් කර ගන්න. හැකිනම් අතින් මදක් මිරිකා ගන්න. ඉහත ඉතිරි අමුද්‍රව්‍ය සියල්ලම ජලය බේරා ගත් බතට දමා කලවම් කර අවසානයේදී පොල් කිරි මිශ්‍ර කර ආහාරයට ගන්න.
තවත් කරුණක් : මෙසේ දියබත් සෑදීමේදී බතට අමුද්‍රව්‍ය එක් කිරීමට පෙර පොල් කිරි හැර අනෙක් අමුද්‍රව්‍ය වෙනත් භාජනයක වෙනම අනා එක් කිරීමෙන් තවත් දියබත රස කරගත හැකියි. අවසානයේ පොල් කිරි යොදාගන්න.
අවම ලෙස මාස 06 ක් හෝ දියබත පරිභෝජනයට ගෙන ඔබම එහි වෙනස අත්විඳින්න. ( අවම ලෙස ඉරිදා දිනයන් හීදි වත් ) ඔබට නොහිතන අයුරින් වෙනසක් දකින්නට පුළුවන්.
by Kaushalya De Silva
Photo source : Internet
699 Views
Comments