කෙසෙල් බඩ නියඹලාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

කෙසෙල් බඩ නියඹලාව

කෙසෙල් බඩ නියඹලාව

දේශීය ආහාරයන්ට මුල් තැන දෙමින් දේශීය ආහාර වර්ග මෙන්ම දේශීය අමුද්‍රව්‍ය වලින් බටහිර පන්නයට හුරු කෑම පවා සකස් කර ගත හැකි රෙසපි කිහිපයක් අප ඔයාලට අරගෙන ආවා.

අද අපි දේශීය ආහාරයක් වන අපගේ පැරැන්නන්ගේ නියඹලාව සකස් කර ගන්නා ආකාරය පිළිබඳව කියලා දෙනවා. සමහර විට ඔබ මේ නම අසන්නෙත් අද වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපේ පැරැන්නන් පෝෂණ ගුණයෙන් පිරි ආහාර පරිභෝජනය පිළිබඳව සැලකිලිමත් වූවා සේම අදටත් අප පෝෂණ ගුණයෙන් සපිරි මේ ආහාර පරිභෝජනයට ගන්නවා නම් බොහෝ ලෙඩ රෝග වලින් මිදීමට අපට හැකියාව ලැබෙයි.

මෙම නියඹලාව ද්‍රව්‍ය කිහිපයක්ම භාවිතා කරගෙන සෑදීමට හැකියි. හාල් , පොල් , හීන් දුරු , ගම්මිරිස් , අබ අඹරාගෙන එයට කැකිරි , පුහුල් , මෑ ඇට , මුං ඇට , පිපිඤ්ඤා, ගස්ලබු , කෙසෙල් බඩ යන මේවාගෙන් එකක් යොදාගනිමින් මෙම නියඹලාව සකස් කර ගන්නවා. අද අපි ඔබට අරගෙන ආවේ කෙසෙල් බඩ යෝදාගෙන සකස් කරගන්නා නියඹලාවයි.

අර්ශස් , මල බද්ධය වැනි රෝගී තත්වයන්ට සහනයක් ලබා දීමටත්, ආහාර ජීරණ පද්ධතිය ක්‍රමානුකූලව ක්‍රියා කිරීමටත් මෙන්ම අන්ත්‍ර පිරිසිදු කිරීමෙහි විශේෂ හැකියාව කෙසෙල් බඩ සතුව තිබෙනවා. එනිසා අද අපි කෙසෙල් බඩ මේ නියඹලාවට ගන්න හිතුවා.

අවශ්‍ය ද්‍රව්‍ය,

- කෙසෙල් බඩ කැබැල්ලක් ( මේ සඳහා අළු කෙසෙල් බඩ කැබැල්ලක් ගැනීම වඩාත් සුදුසු වනවා )
- පැසුණු ගස්ලබු ගෙඩි 01 ක්
- හාල් මේස හැඳි 01 ක්
- රතු ළූණු ගෙඩි 10 - 12 ක්
- උම්බලකඩ කුඩු තේ හැඳි 02 ක්
- සුදු ළූණු බික් 04 ක්
- උළුහාල් තේ හැඳි 01 ක්
- අමුමිරිස් කරල් 05 ක්
- ගාගත් පොල් මේස හැඳි 01 ක්
- අබ ස්වල්පයක්
- ගම්මිරිස් ස්වල්පයක්
- රම්පේ ස්වල්පයක්
- කරපිංචා කිනිත්තක්
- කුරුදු කැබැල්ලක්
- මිටිකිරි කෝප්ප 01 ක්
- දියකිරි කෝප්ප 02 ක්
- කහ ස්වල්පයක්
- රස අනුව ලුණු

සාදන ආකාරය,

පළමුව අළු කෙසෙල් බඩය හොඳින් සෝදා පිරිසිදු කරගන්න. දැන් එය සිහින්ව කපාගන්න. ගස්ලබු ගෙඩියක් පොතු ඉවත් කර එයද සිහින්ව කපාගන්න. හාල් , පොල් , අබ , සුදු ළූණු , ගම්මිරිස් ටික බ්ලෙන්ඩරයට දමා හෝ ගලේ හොඳින් අඹරා ගන්න.

 


දැන් පෙර කපාගත් අළු කෙසෙල් බඩ හා ගස්ලබු භාජනයකට දමා අඹරාගත් අමුද්‍රව්‍ය ටික එයට එකතු කර කලවම් කරගෙන දිය කිරි එකතු කර කලවම් කර ලිප මත තබා උයාගන්න.

එය පැසීගෙන එනවිට අනෙකුත් ඉතිරි අමුද්‍රව්‍ය ටිකත් එකතු කරගනිමින් ( මිටි කිරි හැර ) නැවතත් කලවම් කර ටික වේලාවකින් මිටි කිරි ටිකත් එකතු කරගන්න. වෑංජනය මදක් උකු වී නටන විට ලිපෙන් ඉවතට බා ගන්න. රතු කැකුළු බත් සමඟ කෑම මේසයට පිළිගන්වන්න.

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

896 Views

Comments

arrow-up