කොස් ඇට මිල්ක්ශේක්

පසුගිය සති කිහිපයේම අපි දේශීය දේ උපයෝගී කරගනිමින් සකස් කරගන්නා රෙසපි කිහිපයක්ම අරගෙන ආවා. අදත් අපි ඔයාල වෙනුවෙන් පෝෂණ ගුණයෙන් සපිරි අපේම ආහාරයකින් ඉතා පහසුවෙන් සකස් කරගත හැකි බීම වර්ගයක් අරගෙන ආවා.
කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ සහ අනෙකුත් ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වීම නිසා කොස් ඇට දෛනික ආහාර වේල් සඳහා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වනවා.
මේ බීම වර්ගය ඔයාලත් හදලා බලන්න. වෙනස්ම රසයක් ගෙනඒවි.
අවශ්‍ය ද්‍රව්‍ය,
- කොස් ඇට 20 ක් පමණ
- කිරි කෝප්ප 2 ක්
- අයිස් කැට 6 ක් හෝ 8 ක්
- කුරුදු කුඩු තේ හැදි 1/2 ක්
- සීනි අවශ්‍ය ප්‍රමාණයට
- මුද්දරස්පලම් ස්වල්පයක්
සාදන ආකාරය,
කොස් ඇට ටික මුලින්ම භාජනයකට දමාගෙන එය වැසෙන ප්‍රමාණයට වතුර එක් කරමින් හොඳින් තම්බාගන්න.
තම්බාගත් කොස් ඇට ටික ලිපෙන් බාගන්න. වටේට ඇති ඝණකම් පොත්ත ඉවත් කරගෙන කොස් ඇටය වටේට දුඹුරු පැහැයට ඇති කොටසත් හොඳින් සූරා ඉවත් කරගන්න ඕන.
දැන් මේ කොස් ඇට ටික බ්ලෙන්ඩරයකට දමා හොඳින් පොඩි වෙනතුරු බ්ලෙන්ඩර් කරගන්න. ( පල්ප් එකක් වගේ එනකල් ) දැන් මුද්දරස්පලම් හැර අනෙක් සියළු අමුද්‍රව්‍ය කොස් ඇට පල්ප් එකට දමාගෙන නැවතත් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
බ්ලෙන්ඩර් කර අවසානයේ ඔයාලට හොඳ උකු කිරි එකක් ඒවි. දැන් මෙම කිරි එක වීදුරු වලට දමා එයට මුද්දරස්පලම් උඩින් යොදාගෙන පිලිගන්වන්න. ( මුද්දරස්පලම් වෙනුවට කුඩාවට කපාගත් කජු යොදන්නත් පුළුවන් )
කොස් ඇට මිල්ක්ශේක් එකේ රස බලන්න ඔයාලත් ලෑස්තිද?
by Kaushalya De Silva
Photo source : Internet
900 Views
Comments