බේක්ඩ් රයිස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
30

බේක්ඩ් රයිස්

බේක්ඩ් රයිස්

" අම්මා හදන කෑම හරිම රසයි...අපේ අම්මට වගේ රසට උයන්න වෙන කාටවත්ම බෑ.... " ඔයාලගේ පොඩ්ඩොත් මේ වගේ කියනවනම් ඔයාලත් හරි ආසයි නේද ? ඒ වගේම හරි ආඩම්බරයක්.

එහෙනම් ඔයාලා පොඩ්ඩන්ට රසම රස කෑම වර්ග හදලා දෙන්න ඕන. අදත් අපි ඔයාලට ගෙනාවා අළුත්ම, පහසු ඒ වගේම රසවත් රෙසපියක්. පොඩ්ඩො හරිම ආසාවෙන් කයි. මයික්‍රෝවේව් ඔවන් එකේ නැත්නම් උදුනේ හදන තෙම්පරාදු බතක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය,

-
හොඳට ඇට වෙන්වෙන විදිහට උයාගත්ත බාස්මතී බත් කෝප්ප දෙකක් ( වෙනත් කැමති බත් වර්ගයක් මේ කෑම රස කරන්න ගන්නත් පුළුවන් )
- මොසරැල්ලා චීස් තේ හැඳි 05 ක් ( මේ චීස් සුපර් මාර්කට් එකෙන් ගන්න පුළුවන් )
- පොඩි ඉස්සො ග්‍රෑම් 100 ක් ( හොඳින් සෝදා ලුණු ටිකක්, කහ ටිකක් එහෙම දාලා තම්බාගෙන පොත්ත ඉවත් කර ගන්න. ශීතකරණයේ තියන්න )
- සිහින්ව ලියාගත් පුංචි ලීක්ස් ගසක්
- ලියාගත් ගෝවා ටිකක්
- චිකන් තම්බා ගත් ස්ටොක් වතුරෙන් තේ හැඳි දෙකක්
- සිහින්ව ලියාගත් බී ළූණු ටිකක්
- පිසූ ග්‍රීන් පීස් ඇට තේ හැඳි දෙකක්
- හොඳින් ගසාගත් බිත්තරයක්
- සිහින්ව ලියාගත් සුදු ළූණු තේ හැඳි කාලක්
- රස අනුව ලුණු ( බතට වෙනමම ලුණු දමා පිසගන්න )
- ඇන්කර් බටර් තේ හැඳි දෙකක් පමණ
- අවන් එකට දාන්න පුළුවන් තැටියක් හෝ ඇලුමිනියම් කෑම බහලන භාජනයක් ගන්න. මයික්‍රෝවේව් එකේ නම් ඒකට දාන්න පුළුවන් දීසියක් ගන්නත් පුළුවන් ( සුපර් මාර්කට් වල තියෙනවා )

 


සාදාගන්නා ආකාරය,

නොන්ස්ටික් පෑන් එකක් හෝ වෙනත් භාජනයක් ගන්න. අඩු ගින්දරේ තියන්න. දැන් රත් වූ මෙම භාජනයට බටර් දමන්න. ටිකක් දියවුණු පසු එයට සුදු ළූණු ටික දාගන්න. යාන්තමට බැදීගෙන සුවඳ එන විට ලියාගත් බී ළූණු ටික දමාගෙන විනාඩියක් විතර බැදගන්න.

දැන් මෙයට ගසාගත් බිත්තරය දමන්න. හොඳට හැඳි ගානගමන් බිත්තර ටික ඔම්ලට් වෙන්න නොදී බිත්තර කැබලි කඩන්න. හොඳින් මිශ්‍ර කරන්න. දැන් එයට ලියාගත් ලීක්ස් එකතු කරන්න. තත්පර තිහකට විතර පස්සෙ ලියාගත් ගෝවා ටිකත් එකතු කරන්න.

ලිපේ දැල්ල ටිකක් අඩු කරලා තවත් තප්පර තිහකට විතර පස්සේ පිසගත් බාස්මතී බත් ටික මිශ්‍ර කරගන්න. තැම්බූ ග්‍රීන් පීස් ඇට ටික එකතු කරගන්න. තම්බාගත් ඉස්සො ටිකත් එකතු කරගන්න. අවශ්‍ය පමණට ලුණු ටිකක් දාගන්න.

 


දැන් එකවර ලිපේ දැල්ල වැඩි කරගෙන හොඳින් හැන්දෙන් කලවම් කරගන්න ගමන් විනාඩි 03 ක් විතර පිසගන්න. දැන් මේ රයිස් එක ඔයාලා ගත්ත ඇලුමිනියම් තැටියට දමා ගෙන හොඳින් තුනී කරන්න. ඒ උඩින් මොසරැල්ලා චීස් ටික ඉසින්න. ඊටත් උඩින් තක්කාලි සෝස් ටික ටික තැනින් තැනට දාන්න.

සෙන්ටිග්‍රේඩ් අංශක එකසිය අසූවට විතර රත් කරගත්ත ඔවන් එකක මේ බත් එක විනාඩි 10 ක් විතර බේක් කරගන්න. චීස් හොඳින් දිය වූ පසු ප්‍රවේශමෙන් බාගෙන නිවෙන්නට හැර පොඩ්ඩාට දෙන්න. උණු උණුවෙන්ම කන්නත් පුළුවන්.

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

505 Views

Comments

arrow-up