සොසේජස් ෆ්‍රයිඩ් රයිස් - Sausage Fried Rice

පොඩ්ඩන්ට ෆ්‍රයිඩ් රයිස් කිව්වම නම් ආයෙ වෙන දේවල් ඕනෙම නෑ. ඒකටත් එක්ක හරියන්න මස් හෝ මාළු වර්ග දුන්නොත් බත් පිගාන ඉවර වෙනකන්ම කයි.
ඉතින් අද අපි හිතුවා මේ පොඩ්ඩො ආස කරන විදියෙ සොසේජස් රයිස් එකක් හදන විදිය ඔයාලට කියලා දෙන්න. වැඩි මහන්සියකුත් නෑ. හදලා දෙන්න එයාලට. ආසාවෙන් එයාලා කන හැටි බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය,
- බාස්මතී කෝප්ප දෙකක් ( ඇට වෙන්වන ගානට මේ බත උයාගන්න ඕනෙ. බත බෙරි උනොත් රයිස් එක හරියන්නෙ නෑ. බත හදනකොට ලුණු ස්වල්පයකුත් දමන්න. ඔයාලා කැමති ඕනම බත් වර්ගයක් ගන්නත් පුළුවන් මේ රයිස් එකට )
- සොසේජස් කරල් තුනක් ( ජම්බො සොසේජස් වගේ ගන්නත් පුළුවන් කැමති නම් )
- සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1/2 ක්
- සිහින්ව ලියාගත් පුංචි ලීක්ස් ගසක්
- සිහින්ව ලියාගත් ගෝවා ටිකක් ( ගෝවා ටිකක් රයිස් එකට දැම්මම අමුතු රසයක් එනවා. කැමති නම් රයිස් එක හදලා ඉවර වෙද්දි දාන්න ළූණු කොළ ටිකක් ගන්නත් පුළුවන් )
- චිකන් තම්බාගත් ස්ටොක් වතුර තේ හැඳි 02 ක්
- සිහින්ව ලියාගත් බී ළූණු ටිකක්
- හොඳින් බීට් කරගත් බිත්තරයක්
- සෝයා සෝස් තේ හැඳි 1/2 ක් ( සෝයා සෝස් රසට අකමැති නම් සොයා සෝස් දාන්න එපා )
- සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැඳි කාලක්
- සිහින්ව ලියාගත් සුදු ළූණු තේ හැඳි කාලක්
- රස අනුව ලුණු කුඩු ( බතටත් ලුණු දැම්ම නිසා ටිකක් පරිස්සමෙන් ලුණු දමන්න )
- එළවළු තෙල් හෝ එළගිතෙල් මේස හැඳි 04 ක් පමණ ( කැමති නම් ඇස්ට්‍රා මාගරින් තේ
හැඳි 02 ක් විතර ගන්නත් පුළුවන් )
සාදාගන්නා ආකාරය,
නොන්ස්ටික් පෑන් එකක් හරි ඔයාලගේ ලඟ තියෙන අඩිය ටිකක් ලොකු භාජනයක අඩු ගින්දරේ, තෙල් ටික දමාගෙන රත් කරගන්න. දැන් තෙල් රත් වී ගෙන එන කොට ඒකට කපා ගත් සොසේජස් ටික දාලා රන්වන් පාටට සුවඳ එනකන් බැදගන්න. හොඳින් බැදුණට පස්සෙ තෙල් බේරෙන්න පැත්තකින් තියන්න.
දැන් ඉතිරි වූ තෙල් ටිකට තව තෙල් ස්වල්පයක් දමා එයට ඉගුරු , සුදු ළූණු දමන්න. ඒ ටිකත් යාන්තමට සුවඳ දීගෙන එද්දි ලියාගත්ත බී ළූණු ටික දාගන්න. ටික වේලාවක් බැදගන්න.
දැන් මේකට ගසාගත්ත බිත්තරය දමන්න. හොඳින් හැඳිගාන ගමන් බැදෙන බිත්තරය ඔම්ලට් නොවී කුඩා කැබලි වලට හැන්දෙන්ම කඩා ගන්න. හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ලියාගත් කැරට් ටික එකතු කරන්න. තත්පර තිහකට විතර පසුව ලියාගත් ගෝවා ටිකත් එකතු කරගන්න. ලිපේ ගින්දර අඩු කරගන්න. තවත් තප්පර 30 ක් විතර තියන්න.
ස්ටොක් වතුර එක් කරගන්න.
දැන් අපි මේ හදාගත්තු තෙම්පරාදුවට කලින් බැදගත් සොසේජස් ටික එකතු කරගන්න. නැවතත් හොඳින් විනාඩියක් පමණ හැඳිගාන්න.
පිසගත් බාස්මතී හෝ ඔයාලා ගත්ත බත් ටික මිශ්‍ර කරගන්න.
සෝයා සෝස්, ලුණු ටික එකතු කරන්න.
දැන් එකවර ලිපේ ගින්දර වැඩි කරගෙන විනාඩි තුනක් පමණ හොඳට මිශ්‍ර කරමින් හැඳි ගාන්න. විශේෂ සොසේජස් ෆ්‍රයිඩ් රයිස් එක ලෑස්තියි. කැමතිනම් තක්කාලි සෝස් ටිකක් එක්ක කන්න දෙන්න. පාසලට කෑම පෙට්ටියට දානවා නම් පොඩ්ඩට හැන්දක් දෙන්න අමතක කරන්නත් එපා.
by Kaushalya De Silva
Photo sourcce : Internet
1260 Views
Comments