එළු මස් වලින් කෑම වර්ග

ගොඩක් දෙනෙක් මස් කිව්වම කන්නෙ කුකුල් මස් විතරයි. ඒත් සමහර අය කුකුල් මස් වගේම එළු මස්, හරක් මස්, ඌරු මස් වලින් කෑම වර්ගත් හදනවා.
අද අපි ඔයාලට ගෙනාවා එළු මස් වලින් හදන්න පුළුවන් කෑම වර්ග දෙකක්. කැමති අයට මේ විදිහට හදන්න පුළුවන්.
> නූඩ්ල්ස් එළුමස් මුසාකා
අවශ්‍ය ද්‍රව්‍ය,
- නූඩ්ල්ස් පොඩි පැකට් 02 ක්
- එළුමස් ග්‍රෑම් 250 ක්
- තෙල් මේස හැඳි 02 ක්
- කපාගත් තක්කාලි ගෙඩි 02 ක්
- පිටි මේස හැඳි 1 1/2 ක්
- බටර් මේස හැඳි 01 ක්
- කිරි කෝප්ප 01 ක්
- කපාගත් ළූණු ගෙඩියක්
- ගාගත් චීස් ග්‍රෑම් 100 ක්
- බීට් කරගත් බිත්තර 01 ක්
- පාන් කුඩු මේස හැඳි 01 ක්
- ලුණු තේ හැඳි 1/2 ක්
සාදාගන්නා ආකාරය,
තෙල් ටික මදක් රත් කර එයට ළූණු ටික දමා බැදගන්න. එයට එළුමස් දමා නැවතත් විනාඩි 04 - 05 ක් බැදගන්න. ලුණු හා තක්කාලි දමා මිශ්‍රණය හිදෙන තෙක් පිසගන්න.
තම්බාගත් නූඩ්ල්ස් පැකට් 02 ක මෙම මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරගන්න.
බේක් කළ හැකි තැටියකට බටර් ස්වල්පයක් තවරා මෙම මිශ්‍රණය එයට දමා ගන්න.
දැන් පිටි ටික බටර් ටිකක් සමඟ විනාඩි 02 - 03 ක් පමණ රත් කරන්න. කිරි ටික එයට එක් කරමින් කැටි නොගැසෙන සේ හැඳිගාන්න. මිශ්‍රණය උකු වන කොට එයට චීස් හා බීට් කරගත් බිත්තරය එකතු කර මෘදු මිශ්‍රණයක් එනතුරු හැඳිගාන්න.
දැන් පෙර අතුරා ගත් නූඩ්ල්ස් - එළුමස් මිශ්‍රණය මතට මෙය වත්කර ඒ මතට පාන් කුඩුද ඉස, රත් වූ අවන් එකක සෙල්සියස් අංශක 220 ක විනාඩි 25 ක් බේක් කරගන්න.
> එළුමස් සේවරි කරිය
අවශ්‍ය ද්‍රව්‍ය,
- පොල් කිරි කෝප්ප 01 ක්
- කුඩු කරගත් සුප් කැට 03 ක්
- අඟලක පමණ කුරුදු කැබැල්ලක්
- කරාබුනැටි 12 ක්
- රතු මිරිස් කරල් 06 ක්
- කහ කුඩු තේ හැන්දක්
- සිහින්ව කපාගත් ළූණු ගෙඩි 02 ක්
- සිහින්ව කපාගත් අඟල් 03 ක පමණ ඉගුරු කැබැල්ලක්
- සිහින්ව කපාගත් සුදු ළූණු බික් 08 ක්
- කටු රහිත එළුමස් කිලෝ ග්‍රෑම් 01 ක්
- ලුණු රස අනුව
සාදාගන්නා ආකාරය,
කුරුදු, කරාබුනැටි, රතු මිරිස් හා කහ කුඩු යාන්තමට අඹරාගන්න. කපාගත් ළූණු, ඉගුරු, සුදු ළූණු සහ අඹරාගත් කුළුබඩු ටික එළුමස් ටිකට දමා ටිකක් මිශ්‍ර කර සීසන් වන්නට විනාඩියක් දෙකක් පමණ තබන්න.
භාජනයක් ලිප තබා එළුමස් මිශ්‍රණය එයට දමා පොල් කිරි එකතු කර, සුප් කැට හා රස අනුව ලුණු යොදා මෙම කරිය උතුරුවා ගන්න.
පියනකින් වසා එළුමස් ටික හොඳින් තැම්බෙන තෙක් උයා ගන්න ඕන. දැන් පියන ඉවත් කර, මද ගින්නේ නැවත හොද්ද හිදෙන තුරු පිසගන්න. උණුවෙන්ම මේසයට පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1007 Views
Comments