කොස් බර්ගර්

පෝෂණ ගුණයෙන් සපිරි ඒ වගේම දේශීය දේවල් වලින් සකස් කළ හැකි රෙසපි අපි ඔයාලට නිතරම ගේනව නෙ. ඔන්න අදත් අපි ඒ වගේ රෙසපියක් ගෙනාවා.
අද අපි කියන්න යන්නේ මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං වගේ තැන්වලින් ලොකු ලොකු ගණන් ගෙවලා ගන්න බර්ගර් එකට වඩා පෝෂණ ගුණයෙන් ඉහළ ඒ වගේම වෙනස්ම රසයකින්, අපේම දෙයක් වන කොස් උපයෝගී කරගනිමින් හදාගන්න පුළුවන් රසවත් බර්ගර් එකක් ගෙදරදීම හදාගන්න විදිය
අවශ්‍ය ද්‍රව්‍ය,
- කොස් ග්‍රෑම් 500 ක් ( සිහින් තීරු ආකාරයට කපා ගෙන බෙරි නොවී තම්බ ගන්න ඕන )
- එළවළු තෙල් මේස හැදි 01 ක්
- ලොකු ළූණු ගෙඩියක් සිහින්ව කපාගෙන
- සුදුළූණු බික් 01 ක් කුඩාවට කපාගෙන
- අමුමිරිස් කරල් 02 ක් ( සිහින්ව කපාගෙන )
- බාබකියු සෝස් ග්‍රෑම් 100 ක් ( මෙයට බාබකියු සෝස් වෙනුවට කැමති නම් චිලී සෝස් යොදාගන්නත් පුළුවන් )
පිරවීම සඳහා
- ලොකු අලිගැටපේර ගෙඩියක්
- අමුමිරිස් කරලක් ( සිහින්ව ලියාගන්න )
- ලොකු ළූණු ගෙඩි 1/4 ක් ( සිහින්ව කපාගෙන )
- දෙහි බෑයක යුෂ
සැකසුම සඳහා
- බර්ගර් බන් කිහිපයක් ( මැදින් කපා වෙන් කරගන්න )
- තක්කාලි පෙති කිහිපයක්
- චිකන් හෝ හැම් පෙති ( සුපර්මාර්කට් වලින් ගන්න පුලුවන් )
- ලොකු ළූණු රවුම් පෙති කපාගෙන
- සලාද කොළ කිහිපයක්
සාදන ආකාරය,
භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත්කර ළූණු ටික දමා විනාඩි 10 ක් පමණ මද ගින්දරේ බැදෙන්නට හරින්න.
අමුමිරිස් හා සුදුළූණු ටික එකතු කර හොඳින් තවත් විනාඩි 2 ක් පමණ කලවම් කරන්න. තම්බා ගත් කොස් ටික තීරු ලෙස හොඳින් වෙන් වී ඇත්දැයි බලන්න.
දැන් සකස් කරන මිශ්‍රණයට එසේ තීරු කරගත් කොස් ටික එකතු කරගෙන එයත් විනාඩි 3 ක් පමණ මද ගින්දරේ තැම්බෙන්න හරින්න. බාබකියු සෝස් දමා නැවත විනාඩි 2 කට පසුව රස බලා ලිපෙන් ඉවත් කරගන්න.
දැන් අලිගැටපේර, අමුමිරිස්, ළූණු හා දෙහි යුෂ යන සියල්ලම බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත් පසු රස බලා ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එකතු කර පේස්ට් එක සාදාගන්න. එයත් පසෙකින් තබන්න.
කපාගත් බර්ගර් කොටස් ගෙන පිළිවෙලින් මේ ආකාරයට ද්‍රව්‍ය ටික තබාගන්න. මුලින්ම බර්ගර් බන් එකේ යට කොටස ගෙන සලාද කොළයක් තබා ඊට උඩින් කොස් මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයට යොදන්න. ළූණු පෙත්තක් සහ තක්කාලි පෙත්තක් තබා අලිගැටපේර මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයට දමන්න. කැමති නම් චීස් පෙත්තක් තබා අවසානයේ බර්ගර් උඩ කොටසින් වසා මදක් තද කරගන්න.
කොස් බර්ගර් එක ලෑස්තියි...
by Kaushalya De Silva
Photo source : Internet
869 Views
Comments