රස කුරුම්බ ජෑම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

රස කුරුම්බ ජෑම්

රස කුරුම්බ ජෑම්

පොල් ගහට කප්රුක කියන්නේ නිකම්ම නෙවෙයි. එහි හැම අංගයක්ම අපි ප්‍රයෝජනයට ගන්නවා. මේ කියන්න සූදානම් වන්නේ කුරුම්බා වලින් සකස් කර ගන්න පුළුවන් රසවත් කෑමක් ගැන. සාමාන්‍යයෙන් අපි කුරුම්බා කන්න පුරුදු වෙලා ඉන්නේ කුරුම්බා ගෙඩියේ වතුර ටික බීලා මද ටික සුරලා සීනි හරි පැණි හරි එක රස බලන්න. ගැමි ප්‍රදේශ වල නම් මේක හරිම ජනප්‍රිය කෑමක්. නමුත් ඔබ දන්නවද කුරුම්බා වලින් ජෑම් හදන්න පුළුවන් කියලා. එක හරිම පහසුයි.

අවශ්‍ය වෙන්නේ
*ලපටි කුරුම්බා ගෙඩියක්
*ලුණු ස්වල්පයක්
* සීනි ටිකක්
*සිට්‍රික් ඇසිඩ් ටිකක්
* වැනිලා බින්දු කිහිපයක්


සකස් කර ගන්න ආකාරය

මුලින්ම කුරුම්බා ගෙඩිය පළලා එහි මද ටික හොඳින් සූරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කුරුම්බා මද ටික බ්ලෙන්ඩරයට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. දැන් භාජනයක් ලිප තබා සීනි ටිකක් හා ලුණු ටිකක් එක් කර එය හොඳින් කැරමල් කරගන්න අවශ්‍ය වෙනවා. මෙහිදී සීනි යොදාගන්න ප්‍රමාණය කුරුම්බා මද ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත් කුරුම්බා මද ටිකත් මේ මිශ්‍රණයට එක් කරමින් හොඳින් හැඳිගාන්න අවශ්‍ය වෙනවා. විනාඩි දහයක් විතර මේ මිශ්‍රණය හොඳින් හැඳිගානකොට වෙළඳපළෙන් මිලදී ගන්න පුළුවන් සිට්‍රික් ඇසිඩ් ටිකක් ඊට එකතු කරන්න පුළුවන්. කෙනෙකුට සිට්‍රික් ඇසිඩ් මිලදී ගන්න අසීරුතාවයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් නිවසේදීම සකස් කර ගන්න පුළුවන් පුංචි දේකුත් තියෙනවා. ඊට අවශ්‍ය වෙන්නේ ඉදුණු පැෂන් ගෙඩියක්. මුලින්ම ඉදුණු පැෂන් ගෙඩිය උණු වතුරට දාලා ටිකක් වෙලා තියලා දෙකට කපලා ඇතුලේ තියෙන මද ඉවත් කර ගන්න ඕන. දැන් මේ පැෂන් ලෙලි දෙක කුරුම්බා මද දමන වෙලාවෙම මිශ්‍රණයට එකතු කරලා අපේ කුරුම්බා ජෑම් එක පදමට එනකල් භාජනයේම තියන්න අවශ්‍ය වෙනවා. රස කරගන්න වැනිලා බින්දු කීපයකුත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ කුරුම්බා ජෑම් එකට පාට අවශ්‍ය වෙනවා නම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන් කලරින් ටිකක් එකතු කරන්නත් පුළුවන්. නැත්නම් සීනි කැරමල් වෙලා තියෙන නිසා ලස්සන පාටකට ජෑම් එක සකස් වෙනවා. මිශ්‍රණය පිසගන්න අවශ්‍ය වෙන්නේ මද ගින්නේ මදගින්නේ. පදමට එනකොට කුරුම්බා ජෑම් ලිපෙන් ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා.

 

 

 


නිවසේදීම සකස් කරගත්තු කුරුම්බා එක එක පිරිසිදු බෝතලයක් උණු වතුරෙන් සෝදා වියළා ගෙන අසුර ගන්න පුළුවන්. ඉන්පසු වතුර භාජනයක ගිල්වා මද වේලාවක් තබා ශීතකරණයේ අසුරලා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

414 Views

Comments

arrow-up