6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : ප්‍රගුණ කළ යුතු ගුණාංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : ප්‍රගුණ කළ යුතු ගුණාංග

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : ප්‍රගුණ කළ යුතු ගුණාංග

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ පුරවැසි අධ්‍යාපනය විෂය කොටසට අයත් තවත් එක් වැදගත් පාඩමක්. මෙහිදී යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග පිළිබඳව අවශ්‍ය කරන අවබෝධය ලබාදීමට අපේක්ෂා කරයි.

යහපත් පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ගුණාංග වර්ධනය කරගැනීම පුද්ගලයාගේ සංවර්ධනයට මෙන්ම සමාජයේ සංවර්ධනයට ද හේතු වෙයි. ඒ සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග අතර ආචාරශීලී ලෙස භාෂාව හැසිරවීම සහ විනයගරුක හැසිරීම ප්‍රමුඛ වේ. සමාජයේ සරු දේ මෙන්ම නිසරු දේ ද පවතී. නිසරු දේ බැහැර කරමින් ජීවිතයට සරු දේ එක්කර ගැනීම හොඳ පුරවැසියෙකුගේ ගුණාංගයකි. මාතෘ භූමිය සතු සම්පත් මෙන්ම පොදු දේපල ද සුරකිමින් උපන් දේශයේ අභිමානය රැකගැනීමට කැපවීම යහපත් පුරවැසියෙකුගේ වගකීමයි. ඉහත ගුණාංග වලට අමතරව නීතිගරුක වීම සහ යුක්ති ගරුක වීම වැනි යහපත් ගුණාංග මෙන්ම තවත් බොහෝ ගුණාංග අප විසින් ප්‍රගුණ කළ යුතුයි. එම ගුණාංග හඳුනා ගනිමින් ඒවා ජීවිතයට එක්කර ගැනීමට අපි කටයුතු කරමු. එසේ කිරීමෙන් ලොව හොඳම පුරවැසියන් ජීවත් වන රට ශ්‍රී ලංකාව බව ලෝකයට පෙන්වා දෙමු.

පන්ති කාමරයේ මෙන්ම පාසල තුළදී මිතුරු මිතුරියන් රැසක් ඇසුරු කිරීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. එසේම නිවසේදීද බාහිර සමාජයේදී ද විවිධ අය ඇසුරු කරන්නට ඔබට සිදු වේ. එම ඔබ ඇසුරු කරන අය පිළිබඳව මොහොතක් සිතා බලන්න. මුලින්ම ඔබ එකිනෙකා හඳුනාගත් ආකාරය මතකයට නගා ගන්න. ඔවුන්ගේ නම ගම වයස සහෝදර-සහෝදරියන් පිළිබඳ තොරතුරු ආදී පෞද්ගලික විස්තර ඔබ විමසන්නට ඇති. එසේම ඔවුන්ට පෙරළා ඔබෙන් තොරතුරු විමසන්නට ඇති. ඒ මොහොතේ ඔබ ඔවුන්ට සුහද ලෙස ප්‍රියමනාප වචනයෙන් කථා කළ බව ඔබට මතක ඇති. ඔවුන්ද ඔබට ආදරයෙන් සහ ගෞරවයෙන් ආචාරශීලීව කතා කළ නිසා ම එකිනෙකා අතර මනා බැඳීමක් ගොඩනැගෙන්නට ඇත. එහෙත් එසේ කතා නොකළා නම් ඔබ එකිනෙකා අතර සමීප සම්බන්ධයක් ඇති නොවන්නට ඉඩ තිබුණි. එවිට ඔබට සිටින්නේ සුළු මිතුරන් පිරිසකි. ඔබ මිතුරන් අතර හොඳ මිතුරෙකු වීමටත් පවුලේ සුහදශීලී සාමාජිකයෙකු ලෙස සිත් දිනාගෙන කටයුතු කිරීමටත් ආචාරශීලීව භාෂාව හැසිරවීමට හුරුවිය යුතුයි.

 

 


සංවරශීලීව කතා කිරීම, නිවැරදිව සහ නිරවුල් ව අදහස් දැක්වීම, අන් අයට ගෞරවයෙන් සැලකීම, නිවැරැදි ඉරියව්වල පිහිටා කතා කිරීම, භාෂාව විකෘති නොකිරීම, තැන නොතැන හඳුනාගෙන කතා කිරීම ආචාරශීලී කතනයක අංග ලක්ෂණ කිහිපයකි. භාෂාව හැසිරවීමේදී ඔබ කතා කරන්නේ කාටද ඔබ සමඟ හෝ අසල සිටින්නේ කවුරුන්ද යන්න පිලිබඳවත් ඒ අවස්ථාව කුමක්ද යන්නත් එම ස්ථානය කුමක්ද යන්න පිළිබඳවත් මනා අවබෝධයක් ඔබ තුළ තිබීමෙන් සාර්ථක ලෙස භාෂාව හැසිරවිය හැකියි. ආචාරශීලී භාෂා භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන රැසකි. එසේම ආචාරශීලී ලෙස භාෂාව භාවිතා නොකිරීමෙන් අත්වන අවාසි ද බොහොමයි.

සමාජයේ ජීවත්වන අපට තනිව ජීවත්විය නොහැකි ය. එබැවින් විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට සහ අදහස් හුවමාරු කරගැනීමට අපට සිදුවේ. අප එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේදී අනෙකාගේ අදහස් වලට හොඳින් සවන් දීමෙන් ඔහු හෝ ඇය පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි වේ. තමාගේ අදහස් අන් අයට මනාව ප්‍රකාශ කිරීමත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දීමත් ඉතාමත් වැදගත්. සවන් දීමේ දී අවධානයෙන් යුතුව සවන් දීම නිසා අදහස් ප්‍රකාශ කරන්නට අනෙක් පුද්ගලයා පිළිබඳ ප්‍රසන්න හැඟීමක් ඇතිවේ. අදහස් හුවමාරුවේ දී ඇතැම් විට තමාගේ අදහසට එරෙහි වන මත ප්‍රකාශ වීමට පුළුවනි. එහෙත් එය ඉවසා සිටීමට තරම් ශක්තියක් ඔබට තිබිය යුතුයි. යම් කරුණක් සම්බන්ධව ඔබ තුළ ඇති දැනුමට වඩා පුළුල් දැනුමක් අනෙක් පුද්ගලයාට තිබිය හැකියි. එම දැනුම සහ කරුණුවලින් ඔබ දැරූ අදහස් වලට වඩා නව ඵලදායි මතයක් නිර්මාණය කිරීමට ඔබට හැකි වනු ඇත.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1753 Views

Comments

arrow-up