9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 2

9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 2

පසුගිය ලිපියෙන් අධ්‍යනය කරන ලද මිනිස් ඇසේ ඇති විය හැකි නොයෙක් දෝෂ පිළිබඳව අද ලිපියෙන් අපි සලකා බලමු. අක්ෂි ගෝලය නියමිත ප්‍රමාණයට වඩා දිගු වීම හෝ කෙටි වීම, අක්ෂි කාචයේ වක්‍රතාව අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම වැනි හේතු නිසා ප්‍රධාන වශයෙන්ම අක්ෂි දෝෂ ඇති වේ. මෙලෙස ඇති වන අක්ෂි දෝෂ දුර දෘෂ්ටිකත්වය හා අවිදුර දෘෂ්ටිකත්වය ලෙස දැක්විය හැකිය.

 

දුර දෘෂ්ටිකත්වය

 

දුර දෘෂ්ටිකත්වය යනු දුර පිහිටි වස්තු පැහැදිලිව පෙනුනද ළඟ පිහිටි වස්තු පැහැදිලිව නොපෙනීමයි. මිට හේතුව වන්නේ අක්ෂි ගෝලය කෙවි වීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාව අවශ්‍ය පමණට වැඩි කර ගැනීමට නොහැකි වීමයි. දුර දෘෂ්ටිකත්වය ඇති පුද්ගලයෙකුගේ පෙනීම ඇති වන ආකාරය සලකා බලමු.

 

දුරින් පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ මෙවැනි පුද්ගලයෙකුගේ දෘෂ්ටි විතානය මත නිසි පරිදි නාභිගත වන නමුත් ළඟින් ඇති වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නාභිගත වන්නේ දෘෂ්ටි විතානයට පිටුපසිනි. එබැවින් දුර පිහිටි වස්තු පැහැදිලිව පෙනුණද ළඟ පිහිටි වස්තු එසේ පැහැදිලිව නොපෙනේ.

 

දුර දෘෂ්ටිකත්වය මඟ හරවා ගැනීමට උත්තල මාවක කාච සහිත උපැස් යුවල් පැළඳීමට සිදු වේ. එහිදී ආලෝක කිරණ ප්‍රථමයෙන්ම උපැස් යුවලේ කාචය මඟින් අභිසරණය වී, ඇසට ඇතුළු වීමෙන් අනතුරුව අක්ෂි කාචයෙන්ද අභිසරණය වී දෘෂ්ටි විතානය මත නිසි ලෙස ප්‍රතිබිම්භය ඇති වේ.

 

 

 

අවිදුර දෘෂ්ටිකත්වය

 

අවිදුර දෘෂ්ටිකත්වය යනු ළඟ පිහිටි වස්තු පැහැදිලිව පෙනුනද දුර පිහිටි වස්තු පැහැදිලිව නොපෙනීමයි. මිට හේතුව වන්නේ අක්ෂි ගෝලය දිගු වීම හෝ අක්ෂි කාචයේ වක්‍රතාව අවශ්‍ය පමණට අඩු කර ගැනීමට නොහැකි වීමයි. අවිදුර දෘෂ්ටිකත්වය ඇති පුද්ගලයෙකුගේ පෙනීම ඇති වන ආකාරය සලකා බලමු.

 

ළඟින් ඇති වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ මෙවැනි පුද්ගලයෙකුගේ දෘෂ්ටි විතානය මත නිසි පරිදි නාභිගත වන නමුත් දුරින් පිහිටි වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නාභිගත වන්නේ දෘෂ්ටි විතානයට ඉදිරියෙනි. එබැවින් ළඟ පිහිටි වස්තු පැහැදිලිව පෙනුණද දුර පිහිටි වස්තු එසේ පැහැදිලිව නොපෙනේ.

 

 

 

 

අවිදුර දෘෂ්ටිකත්වය මඟ හරවා ගැනීමට අවතල මාවක කාච සහිත උපැස් යුවල් පැළඳීමට සිදු වේ. එහිදී ආලෝක කිරණ ප්‍රථමයෙන්ම උපැස් යුවලේ කාචය මඟින් මඳක් අපසරණය වී, ඇසට ඇතුළු වීමෙන් අනතුරුව අක්ෂි කාචයෙන් අභිසරණය වී දෘෂ්ටි විතානය මත නිසි ලෙස ප්‍රතිබිම්භය ඇති වේ.

 

 

 

 

 

 

by D.S.Ishanthi

Photo source : Internet

views

4205 Views

Comments

arrow-up