6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : යුතුකම් සහ වගකීම්

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ එන තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී අයිතිවාසිකම් භුක්ති විඳිමින් යුතුකම් සහ වගකීම් ඉටුකරන ආකාරය පිළිබඳව අවශ්‍ය කරන අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.
අයිතිවාසිකම් භුක්ති විඳීමේ දී ඒ හා බැඳුණු යුතුකම් ඉටු කිරීම පිළිබඳව ද ඔබේ අවධානය යොමුවිය යුතුයි. එසේ යුතුකම් ඉටුකිරීම ඔබේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වීමට හේතුවේ. අධ්‍යාපනය ලැබීම ඔබේ අයිතිවාසිකමකි. හොඳින් ඉගෙනීමේ කටයුතුවල නිරතවීම, විනය ගරුක වීම, නීතිගරුක වීම, සෙසු ළමයින් සමඟ සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම ඔබගේ යුතුකම් වෙයි. එමෙන්ම සෙසු ළමයින්ගේ අයිතිවාසිකම් අාරක්ෂා වන අන්දමින් කටයුතු කිරීම ද ඔබගේ යුතුකමකි. ඔබේ යහළු යෙහෙළියන් අයහපත් ක්‍රියාවල යෙදීමෙන් වළක්වා ගැනීමද ඔබ සතු යුතුකමක් සහ වගකීමක්. සෑම විටම ඔවුන් යහපත් ක්‍රියාවන්ට යොමු කිරීමට උත්සාහ කරන්න. පාසලේ සම්පත් ආරක්ෂාකාරී ලෙස පරිහරණය කිරීම ද ඔබ සතු වගකීමකි.
ගුරු දෙමාපියන්ට කීකරු වීම, ගෞරව කිරීම ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් ය. ඔබට පාසල තුළ ආරක්ෂා සහිතව සිටීමට අයිතියක් ඇති අතර සෙසු ලමයින්ගේ එම අයිතියට ගරු කිරීම ඔබගේ යුතුකමකි. ඔබ ජීවත් වන පරිසරය ආරක්ෂා කිරීමට දායක වීම ද ඔබෙන් ඉටුවිය යුතු යුතුකමකි. පන්ති කාමරය පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීම සඳහා ඔබ උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. එමෙන්ම පවිත්‍ර පාසල් පරිසරයක් පවත්වාගෙන යාම ද ඔබ විසින් සිදුකළ යුතුයි. පාසල් සමාජය විවිධත්වයෙන් යුතු සමාජයකි. විවිධ වයස් මට්ටම්වල ළමයින්ගෙන් පාසල් සමාජය සමන්විත වේ. ඔබට වඩා වැඩිමහල් ළමයින්ද ඔබට වඩා බාල වියේ පසුවන ළමයි ද පාසලේ ඉගෙනුම ලබති.
එමෙන්ම විවිධ ජනවර්ග වලට අයත් සහෝදර සිසුන් ඔබ සමග ඉගෙනුම ලබන්නට පුළුවනි. විවිධ ආගම් අදහන අය ඔබේ පාසලේ සිටිය හැකියි. ඒ සෑම දෙනාම එකම පාසල් මවගේ දරුවන් ලෙස සලකා සහෝදරත්වයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මෙවන් විවිදතා පැවතුනද පාසල් සමාජයේ සියළුම සාමාජිකයන්ට සමාන අයිතිවාසිකම් හිමිවේ. සියලු දෙනා සතු අයිතිවාසිකම් තහවුරු වන ලෙස කටයුතු කිරීම ඔබගේ යුතුකම සහ වගකීම බව මතක තබා ගත යුතුයි. ගුරු සිසු සබඳතාව යහපත් ව පැවතීම ලමයින්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට බෙහෙවින් බලපායි. ගුරුවරුන් වෙනුවෙන් ඔබේ යුතුකම නොපිරිහෙලා ඉටු කිරීම ගුරු ශිෂ්‍ය සබඳතා යහපත් අන්දමින් පවත්වා ගැනීමට හේතු වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
4928 Views
Comments