7 ශ්‍රේණිය ඉතිහාසය: සීගිරිය

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ තවත් එක් විශේෂ පාඩමක්. මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින විශ්මයජනක නිර්මාණයක් වන සීගිරිය පිළිබඳව දූලා පුතාලා දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. බලන්න මෙය ඔබට කෙතරම් වැදගත් අධ්‍යයනයක් ද කියලා.
ශ්‍රී ලංකාවේ පිහිටි සංස්කෘතික උරුම අතරින් සීගිරිය ලෝක උරුමයක් බවට පත්ව තිබේ. කාශ්‍යප රජතුමා තැනූ සීගිරිය පිළිබඳ විවිධ මතවාද පවතී. සිය පියා වූ ධාතුසේන රජු ඝාතනය කර රජකම ලබාගත් කාශ්‍යප, මුගලන් නම් තම සොයුරාට බියෙන් ආරක්ෂාව සඳහා සීගිරි පර්වතයේ බලකොටුවක් ඉදි කළ බව මූලාශ්රවල දැක්වේ. සීගිරියේ ඇති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය කැටපත් පවුර සීගිරි චිත්‍ර සීගිරි පියගැට පෙළ සිංහපාද උද්‍යාන පොකුණු දිය අගල ආදිය පිරික්සා බැලීමේදී එය බලකොටුවක් මෙන්ම විශිෂ්ට කලාගාරයක් බවද කිව යුතුයි. මුහුදු මට්ටමේ සිට අඩි 1214 උසින් වන ලැහැබක් තුළ පිහිටි කඳු ගැටයක් මත පිහිටි ගල් පර්වතය මුදුනේ පැරණි රජ මාලිගාව හා වෙනත් ගොඩනැගිලි වල නටබුන් අදටත් දක්නට ලැබේ. ගල මුදුනේ නටබුන් සහිත ප්‍රදේශය අක්කර තුනක් පමණ වේ.
ගලමුදුන දක්වා අතීතයේ ඉදිකර තිබූ මහවත වූ කලී පඩිපේලි, පාලම්, ප්‍රාකාර ආදියෙන් සමන්විත වී තිබේ. ගලේ දුෂ්කර කොටසට නැගීමට තිබූ මාර්ගය සිංහ මුඛයකින් ආරම්භ විය. එකී ප්රතාපවත් සිංහ රූපය නිසා මෙම ස්ථානයට සීගිරි යන නම යෙදුණු බව පැවසේ. සිංහ රූපය සහිත ප්‍රදේශයට පැමිණීමට පෙර ගමන් මාර්ගයේ ආරක්ෂාව සඳහා තනවා තිබූ දික් පවුරේ ඇතුළු පැත්ත බොහෝ ඔපමට්ටම් කොට තනවා තිබිණි. එය කැටපත් පවුර ලෙස ප්රකටයි. එම පවුරේ ලියා ඇති ගී සීගිරි කුරුටු ගී ලෙස හඳුන්වයි. සීගිරියේ පියගැට පෙළ ඉහළට නැගීමෙන් පසුව ලෙන් තුළ ඇති සීගිරි සිතුවම් දැකිය හැකිය. පර්වතය පාමුල ඇති ලෙන්වල ද සිතුවම් කොටස් දැකිය හැකි නමුත් සීගිරි සිතුවම් ලෙස වඩාත් ප්‍රචලිත පර්වත කෙවෙනි වල ඇති ස්ත්‍රී රූප වේ. වලාකුළුවලින් මතු වූ උඩුකය පෙනෙන ස්ත්‍රී රූප ලෙස මෙම සිතුවම් නිර්මාණය කර තිබේ.
සීගිරියේ ජලමල් තාක්ෂණය විශිෂ්ට නිර්මාණයකි. සීගිරිය ගෘහ නිර්මාණ ශිල්පියා ජලමල් සැකසීමේදී වේගවත්ව ගලන ජල පහරකට බාධාවක් යෙදීමෙන් ජලය ඉහලට ගත හැකිය යන සංකල්පය විද්‍යාත්මකව කල්පනා කළ අයෙකි. මේ අනුව ඉහල පොකුණුවල සිට වේගයෙන් පහළට ගලන ජල ධාරාවකට සිදුරු කළ ගල් පතුරු යෙදීමෙන් අලංකාරව ජල මල් නිර්මාණය කර ඇත. මෙම ජල මල් වර්තමානයේ දී වර්ෂාව ඇති කාලයේදී ක්‍රියාත්මක වේ. සැබැවින්ම සීගිරිය අති විශිෂ්ඨ නිර්මාණයක් වූ බව ඔබට දැන් වැටහෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
7553 Views
Comments