7 ශ්‍රේණිය විද්‍යාව : ජලයේ කාර්යයන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
15

7 ශ්‍රේණිය විද්‍යාව : ජලයේ කාර්යයන්

7 ශ්‍රේණිය විද්‍යාව :  ජලයේ කාර්යයන්

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කරන්නේ ඔයාලා ආසම විද්‍යාව පාඩමේ සත්වැන්නයි. ජලයේ කාර්යයන් පිළිබඳව දූලා පුතාලට අවශ්‍ය කරන දැනුම සුළු ප්‍රමාණයක් හෝ මෙම පාඩමෙන් ලබාගන්නට පුළුවන් වේවි. බලන්න පොත්පත්වලින් පාඩම් කරනවාට වඩා මෙම ලිපිය හරහා අවශ්‍ය කරන අවබෝධය ලබා ගැනීම කෙතරම් පහසුද සහ රසවත්ද කියලා.

සාගර ජලය ලුණු රස වුනේ ඇයි. එහි විවිධ ලවණ වර්ග දිය වීම එයට හේතුව වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මිනිසුන් ඇතුළු සියලුම ජීවීන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. මත්ස්‍යයන් එම අවශ්‍යතාවය සපුරා ගන්නේ ජලයේ දියවී ඇති ඔක්සිජන් වලින් බව දූල පුතාලා දන්නවාද. මෙම සංසිද්ධි හා සම්බන්ධ වන ජලය සතු සුවිශේෂී ගුණාංගයක් පවතී. එම ගුණාංගය ජලයේ ද්‍රාවක ගුණය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඇතැම් ද්‍රව්‍ය ජලයේ මද වශයෙන් දියවේ. තවත් සමහරක් ද්‍රව්‍ය ජලයේ දිය නොවේ. ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් වැනි වායු ජලයේ දියවේ. මත්සයින් ජලයේ දියුවුණු ඔක්සිජන් ශ්වසනය සඳහා භාවිතා කරයි. බොහෝ ද්‍රව්‍ය ජලයේ දිය වන බැවින් ජලය ඉතා හොඳ ද්‍රාවකයකි. ජලය ද්‍රාවකයක් වීම නිසා අපට විවිධාකාර දේවල් දියකර ගත හැකියි. එසේම ජලයේ දියවී ඇති දෑ ජලයෙන් වෙන් කර ගත හැකි යි. එමගින් එදිනෙදා ජීවිතයේදී මෙන්ම කර්මාන්ත වලදීද බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.

 


ජලයේ ද්‍රාවක ගුණය අපට විවිධ වූ කාර්යයන් ඉටුකර ගැනීමටත්, ජලජ ජීවීන්ට ජීවත් වීමටත්, ශාක වර්ධනයටත් උපකාරීවන බවත් දූලා පුතාලට දැන් වැටහෙනවා ඇති. එදිනෙදා ජීවිතයේදී ජලයේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා කිහිපයක් ඔබේ දැනුවත් භාවය උදෙසා ඉදිරිපත් කරන්නෙමු. සීනි රසකාරක සහ වර්ණක ජලයේ දියකර පාන වර්ග සෑදීම, ආහාර රසවත් කිරීමට ලුණු සහ රසකාරක ජලයේ දිය කර ගැනීම, කෘතිම විනාකිරි බැටරි ඇසිඩ් ආදිය පිළියෙල කර ගැනීම සඳහා සාන්ද්‍ර අම්ලය ජලයේ දිය කර ගැනීම, ඖෂධ වර්ග ජලයේ දිය කර ගැනීම, සෞඛ්‍ය කටයුතුවලදී සේලයින් එන්නත් වැනි දේ නිපදවීම, ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ජල ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ජලයෙන් ලබා ගත හැකි වීම, සිරුරේ සහ රෙදිපිළි වෙන තැවරුණු දෑ සෝදා හැරීම, අලංකරණ කටයුතු සඳහා වර්ණ ගැන්වූ ජලය යොදා ගැනීම ඉන් කිහිපයකි.

ඇළ දොළ ගංගා දිය ගොඩබිම සිට මුහුදට ගලා යන විට පොළොවේ ඇති විවිධ ලවණ වර්ග ජලයේ දිය වේ. ඉතා දිගු කාලයක් තිස්සේ මෙසේ එකතු වූ ලවණ නිසා මුහුදු ජලය ලුණු රස වී ඇත. මුහුදු ජලයේ වැඩිපුරම දිය වී ඇති ලවනය වන්නේ sodium chloride. ලුණු ලේවායක දී සූර්ය තාපයෙන් මුහුදු ජලය වාෂ්ප කිරීමෙන් ලුණු හෙවත් sodium chloride වෙන් කර ගැනීම සිදු කරයි. උක් ශාකයේ යුෂයෙහි ඇත්තේ ජලයේ දියවූ සුක්‍රෝස් නම් සීනි වර්ගය යි. උක් යුෂයෙහි ඇති ජලය ඉවත් කිරීමෙන් සීනි නිපදවාගනු ලබයි. පොල් ශාකයේ මලෙන් සීනි ද්‍රාවණයක් ලබාගත හැකියි. එම දියරය මී රා ලෙසින් හඳුන්වනු ලබයි. මී රා වල ඇති ජලය කොටසක් වාෂ්ප කිරීමෙන් පැණිද ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කිරීමෙන් හකුරුද නිපදවනු ලබයි. තල් සහ කිතුල් ශාක වලින් ද මෙසේ පැණි සහ හකුරු ලබාගත හැකියි.

තවත් රසවත් විද්‍යාව පාඩමකින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

4987 Views

Comments

arrow-up