7 ශ්‍රේණිය විද්‍යාව : අම්ල සහ භෂ්ම හඳුනා ගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

7 ශ්‍රේණිය විද්‍යාව : අම්ල සහ භෂ්ම හඳුනා ගැනීම

7 ශ්‍රේණිය විද්‍යාව : අම්ල සහ භෂ්ම හඳුනා ගැනීම

ආදරණීය දුවේ පුතේ මෙය ඉදිරිපත් කරන්නේ ඔයාලගේ විද්‍යාව පාඩමේ 8 වැන්නයි. එනම් අම්ල සහ භෂ්ම හඳුනා ගැනීම පිළිබඳවයි. විද්‍යාව විෂය ධාරාව හැදෑරීමේදී අම්ල සහ භෂ්ම පිළිබඳව ඔයාලා ලබන දැනුවත්භාවය ඉතාමත් වැදගත්. බලන්න එය කෙතරම් රසවත් පාඩමක්ද කියලා.

එදිනෙදා දූලා පුතාලා විසින් ආහාර වශයෙන් ලබාගන්නා පළතුරු විවිධ රසයෙන් යුක්ත වී ඇත්තේ ඇයි කියා මොහොතකටවත් සිතුවාද. එම විවිධ රස වලට හේතුව වී ඇත්තේ එම පලතුරු තුළ අඩංගු වන විවිධ රසායනික සංයෝගයි. දොඩම් නාරං සියඹලා අන්නාසි වැනි බොහෝ පලතුරුවල ඇඹුල් රසයක් ඇති බව දුවලා පුතාලා අත්දැකීමෙන්ම දන්නවා. ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විනාකිරි ද දෙහි බිලිං තක්කාලි වැනි දේවල්ද ඇඔුල් රසයි. ඒවායේ ඇඹුල් රසයට හේතුව අම්ල ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් ඒවා තුළ අන්තර්ගත වීමයි. මී මැස්සෙක් දෂ්ට කළ විට ආප්ප soda ආලේප කරයි. ආමාශයේ ඇතිවන ගැස්ට්‍රයිටීස් හෙවත් බඩේ දැවිල්ලට milk of magnesia පෙති හපයි. පසේ ආම්ලිකතාවය අඩු කිරීමටත් පසට හුණු එකතු කරයි. අම්ල නිසා ඇතිවන අහිතකර තත්ත්වයන් සමනය කිරීමට හුණු, ආප්ප soda, milk of magnesia යොදාගත හැකි වූයේ ඒවායේ අඩංගු භෂ්ම ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍ය නිසායි. සබන් වැනි ලිස්සනසුලු ස්වභාවයකින් යුක්තවීම භෂ්ම වල ලක්ෂණයක්.

ජලය මධ්‍යසාර ලුණු ද්රාවණය භූමිතෙල් වැනි දේවල් අම්ල හා භස්ම වල ගුණ නොදක්වයි. එවැනි ද්‍රව්‍ය උදාසීන ද්‍රව්‍ය ලෙස හඳුන්වන බව දූලා පුතාලා මතකයේ තබාගන්න. නිවෙස්වල භාවිතා කරන බොහෝ ද්‍රව්‍ය මෙන්ම විද්‍යාගාරයේ භාවිතා කරන රසායනික සංයෝගද ඒවායේ ගුණ අනුව අම්ල සහ භෂ්ම සහ උදාසීන ද්‍රව්‍ය ලෙස වර්ග කර දැක්විය හැකි යි. අම්ල සහ භෂ්ම සමඟ වෙනස් වර්ණ ලබාදෙන ද්‍රව්‍ය දර්ශක ලෙස හඳුන්වයි. දූලා පුතාලට විද්‍යාගාරයේ දී හමුවන ලිට්මස් කඩදාසි එවැන්නකි. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් ඇත. ඉන් එක් වර්ගයක් රතු ලිට්මස් ලෙස හඳුන්වන අතර අනෙක් වර්ගය නිල් ලිට්මස් ලෙස හදුන්වයි. ලිට්මස් කඩදාසි භාවිතයෙන් අම්ල, භෂ්ම සහ උදාසීන ද්‍රව්‍ය පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්.

 


අම්ල මගින් නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවයි. රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරයි. භෂ්ම මගින් රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවන අතර නිල් ලිට්මස් වල වර්ණය වෙනස් නොකරයි. උදාසීන ද්‍රව්‍ය නිල් ලිට්මස් වල හෝ රතු ලිට්මස් වල වර්ණය වෙනස් නොකරයි. ඔබ අවට පවතින ස්වභාවික පරිසරයේ ඇති විවිධ ද්‍රව්‍ය මගින් දර්ශක සකසා ගත හැකි බව ඔබ දන්නවාද. පොකුරු වද මල් තම්බා ගත් යුෂ, නිල් කටරොලු මල් තම්බා ගත් යුෂ, කහ තැම්බූ ජලය, ගිරිතිල්ල මල් තළා ගත් යුෂ, පුවක් තැම්බූ ජලය, රතු ගෝවා තම්බා සාදාගත් යුෂ එවැනි දර්ශක කිහිපයකි. පාසල් විද්‍යාගාරයේ දී දූලා පුතාලට වැඩිවශයෙන් භාවිතා වන අම්ල කිහිපයකි සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එමෙන්ම වැඩි වශයෙන් භාවිතා වන භෂ්ම කිහිපයකි sodium hydroxide, potassium hydroxide සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ලිට්මස් වලට අමතරව අම්ල සහ භෂ්ම සහ උදාසීන ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා විද්‍යාගාරයේදී පී එච් කඩදාසි, ෆිනොප්තැලීන් දර්ශකය, methyl orange දර්ශකය භාවිතා කළ හැකියි.

තවත් රසවත් විද්‍යා පාඩමකින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

7354 Views

Comments

arrow-up