7 ශ්‍රේණිය - ICT : අන්තර්ජාලය භාවිතා කිරීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

7 ශ්‍රේණිය - ICT : අන්තර්ජාලය භාවිතා කිරීම

7 ශ්‍රේණිය - ICT : අන්තර්ජාලය භාවිතා කිරීම

ආදරණීය දූලා පුතාලට දැන් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඩම් මාලාවේ 8 වැන්නයි. මෙහිදී තොරතුරු හා සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව දැනුම ඔබට ඉදිරිපත් කරයි. බලන්න ඔබට එය කෙතරම් වැදගත් වේවිද කියලා.

පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී සෑදුණු ජාලයක් පරිගණක ජාලයක් ලෙස සලකන්නට පුළුවන්. එවැනි එකිනෙකට සම්බන්ධ පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සෑදුනු අතිවිශාල ජාලයක් අන්තර්ජාලය ලෙස හඳුන්වයි. මෙහි පරිගණක මිලියන ගණනක් වූව ද තිබෙන්නට පුළුවනි. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඕනෑම විශේෂයක් පිළිබඳ තොරතුරු පින්තූර වීඩියෝ පට ආදී සම්පත් මගින් දැනුම පුළුල් කර ගැනීමට වර්තමාන සමාජයේ සිසු දරුවන්ට අවස්ථාව උදාවී තිබේ. අධ්‍යාපනික දැනුම ලබාදීමට අමතරව අන්තර්ජාලයෙන් ලබාගත හැකි සේවා විශාල සංඛ්‍යාවක් ඇති බව දූලා පුතාලා දන්නවාද. ඉතා ඉක්මනින් ලෝකයේ ඕනෑම ස්ථානයක සිදුවන සිදුවීමක් පිළිබඳව තොරතුරු ලබාගත හැකිවීම ඉන් ප්‍රධාන තැනක් ගනී. දූලා පුතාලා අහල තියෙනවද ලෝක විසිරි වියමන ගැන. ලෝක විසිරි වියමන නැතහොත් world wide web අන්තර්ජාලයෙන් සපයන ප්‍රධාන සේවාවක්. වෙබ් පිටු ගණනාවකින් වෙබ් අඩවියක් සෑදී ඇති අතර මෙවැනි වෙබ් අඩවි ගණනාවකින් ලෝක විසිරි වියමන සෑදී ඇත. ලෝක විසිරි වියමන තුළ වෙබ් අඩවි මිලියන ගණනක් පවතී. ලෝක විසිරි වියමන www හෝ වෙබ් ලෙසද හඳුන්වයි.

www වල වෙබ් අඩවි ගණනාවක් නැතහොත් මිලියන ගණනාවක් තිබේ. මෙම එක වෙබ් අඩවියක් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද. ඒ සඳහා ඇති ක්‍රමය ඒකාකාර සම්පත් නිශ්චායකය යනුවෙන් හඳුන්වයි. ලෝක විසිරි වියමන තුළ ඇති විශාල සම්පත් ප්‍රමාණය අතරින් එක එකක් සුවිශේෂීව හඳුනාගැනීම සඳහා යොදා ගන්නා ලිපිනය ඒකාකාර සම්පත් නිශ්චායකය හෙවත් uniform resource locator යනුවෙන් හඳුන්වයි. URL යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නේ එයයි. විශ්වසනීය සහ විශ්වසනීය නොවන වෙබ් අඩවි වෙන්කර ඳුනාගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතයේ පවතී. භූගෝලීය වශයෙන් දුරස්ථ ස්ථාන කිහිපයක සිටින පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තවත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් සමග අන්තර්ජාලය භාවිතයෙන් වීඩියෝ තාක්ෂණය යොදාගෙන සාකච්ඡා කිරීම වීඩියෝ සම්මන්ත්‍රණ යනුවෙන් හඳුන්වයි. සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කරගත හැකි වීම, සම්මන්ත්‍රණය පවත්වන ස්ථානයට යාමට සිදුනොවන බැවින් ගමන් ගාස්තු සහ කාලය වැය වීමක් සිදු නොවීම, ඉතා ඉක්මණින් සූදානම් කළ හැකිවීම වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීමේ වාසි කීපයකි. Zoom, Skype, WebEx, GoToMeeting යනාදිය වීඩියෝ සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග කිහිපයකි.

තවත් රසවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1204 Views

Comments

arrow-up