7 ශ්‍රේණිය - ICT : විද්‍යුත් තැපෑල
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

7 ශ්‍රේණිය - ICT : විද්‍යුත් තැපෑල

7 ශ්‍රේණිය - ICT : විද්‍යුත් තැපෑල

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ පාඩම් මාලාවේ සත්වැන්නයි. එනම් වර්තමානයේ දී බහුලව භාවිතා කරන විද්‍යුත් තැපෑල නැතහොත් ඊමේල් පිළිබඳව. බලමු මෙම පාඩම ඔබට කෙතරම් වැදගත් වේවි ද කියලා.

විද්‍යුත් තැපැල් ලිපිනයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර විද්‍යුත් ක්‍රමයට හුවමාරු වන ලිපි විද්‍යුත් තැපෑල හෙවත් විද්‍යුත් ලිපි ලෙසින් හඳුන්වයි. මෙමගින් අකුරු පින්තූර වීඩියෝ සහ ලිපිලේඛන වැනි බොහෝ දේ පණිවුඩ ලෙස යැවිය හැකියි. විද්‍යුත් තැපැල් ගිණුමක් ආරම්භ කිරීම සදහා සුදුසු සේවා සැපයුම් වෙබ් අඩවියක් මුලින්ම තෝරාගත යුතුයි. බොහෝ විට මෙවැනි වෙබ් අඩවි නොමිලේ විද්‍යුත් තැපැල් ගිණුම් ලබා දෙයි. Hotmail, Gmail, Yahoo විද්‍යුත් තැපැල් ගිණුම් සේවා සඳහා උදාහරණ කිහිපයකි. විද්‍යුත් තැපෑලක ගුණාංග කිහිපයක් පවතී. එක ඊ තැපැල් පණිවුඩයක පිටපත් කිහිප දෙනෙකුට එකවර යැවීමට හැකි වීම, නිසියාකාරයෙන් අදාල ඊ-තැපැල් ගිණුමට ලිපිය යැවීමට නොහැකි වූ විට ඒ පිළිබඳව පිළිතුරු පණිවුඩ මගින් දැනුවත් කිරීම, address book මගින් පහසුවෙන් ඊ-තැපැල් ගිණුම් ලිපින සුරැකීමට සහ නැවත ලබාගැනීමට හැකිවීම, යැවූ දිනය සහ වේලාව ස්වයංක්‍රීයව ඊ තැපැල් ලිපි පිටපතට ඇතුළත් වීම, ඊ තැපැල් පණිවිඩයක් නැවත වෙනත් අයෙකුට යැවීමට හැකිවීම, දත්ත හෝ තොරතුරු ගොනුවක් ඉතා පහසුවෙන් අමුණා යැවිය හැකිවීම එම ගුණාංග වේ.

විද්‍යුත් තැපැල් ලිපිනයක @ සලකුණ පරිශීලක නාමය අනෙක් කොටස හා සම්බන්ධ කිරීමට යොදා ගනී. එම සලකුණට පසු යෙදී ඇත්තේ වසම් නාමයයි. .lk මගින් පෙන්වන්නෙ ශ්‍රී ලංකාවේ විද්‍යුත් තැපැල් ලිපිනයක් බවයි. විද්‍යුත් තැපැල් ගිණුමට පිවිසීමෙන් පසු එහි ඇති compose හෝ new මත ක්ලික් කිරීමෙන් නව විද්‍යුත් තැපැල් කවුළුවක් ලබාගත හැකියි. Cc යන්නෙහි මෙම ලිපියේ පිටපත් යැවිය යුතු පුද්ගලයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින සඳහන් කරයි. To යන්නෙහි මෙම ලිපිය ලබන්නාගේ විද්‍යුත් ලිපිනය සදහන් කරයි. Bcc යන්න මෙම කොටසේ සඳහන් කල විද්‍යුත් තැපැල් ලිපින To සහ Cc හි ලිපින සඳහන් පුද්ගලයන්ට නොපෙනෙන නමුත් Bcc හි සඳහන් කළ විද්‍යුත් තැපැල් ලිපින හිමියන්ට To සහ Cc හි සඳහන් ලිපින සියල්ල පෙන්නුම් කරයි.

subject යන්නෙහි විද්‍යුත් තැපැල් ලිපිනයට අදාල මාතෘකාව සඳහන් කරයි. attatchment මගින් මෙම විද්‍යුත් තැපැල් ලිපින සමඟ ඈඳා යැවිය යුතු තවත් ගොනු ඇත්නම් මෙම මෙවලම මත ක්ලික් කිරීමෙන් සිදුකළ හැකියි. sent මගින් මන් විසින් යවන ලද විද්‍යුත් ලිපි බලාගත හැකි යි. contacts යන්න තුළ විද්‍යුත් ලිපින සහ සම්බන්ධතා තොරතුරු අන්තර්ගත වේ. Trash තුළ මකා දමන ලද විද්‍යුත් ලිපි තාවකාලිකව තැන්පත් වේ. අවශ්‍ය නම් බහලුම තුළ ඇති ලිපි ද මකා දැමිය හැකියි. ඉන්බොක්ස් තුළ බාහිර පුද්ගලයන් විසින් එවන ලද විද්‍යුත් ලිපි ඇතුළත් වේ. අලුත් හෝ විවෘත නොකළ විද්‍යුත් ලිපි තද පැහැයෙන් දිස්වේ. විද්‍යුත් ලිපිය එවූ තැනැත්තා සහ ඒවා ඇත්තේ කාටද යන්න බලාගත හැකියි.

තවත් රසවත් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1971 Views

Comments

arrow-up