6 ශ්‍රේණිය - විද්‍යාව ජලය

දැන් අපි සූදානම් වෙන්නේ ස්වභාවික සම්පතක් වන ජලය ගැන විද්‍යාත්මකව කතා කරන්න.
අපේ රට දූපතක් විදියට පිහිටලා තියෙන නිසාත් රට පුරාම ඇළ දොළ ගංගා ළිං පොකුණු පිහිටලා තියෙන නිසාත් ජලය අපිට සමීප ද්‍රව්‍යයක් වෙනවා. මතක් කරලා ඔබ වැඩිපුරම දැකලා තියෙන ජලය පවතින්නේ කුමන ස්වරූපයෙන්ද කියන එක.
වැඩිපුරම ජලය ද්‍රව අවස්ථාවේ තමයි පවතින්නේ. ඉතින් ඒ කියන්නේ ජලය ද්‍රව්‍යයක් විදියට විතරමද පවතින්නේ.කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඇත්තටම බැලුවොත් ජලය කියන්නේ ඝන ද්‍රව වායු අවස්ථා තුනේදීම ක්‍රියාත්මක වෙන පදාර්ථයක් වෙනවා. ඒ අනුව ජලය පවතින භෞතික ස්වභාවය අනුව ජලය අපිට
• ඝන අවස්ථාවේ පවතින ජලය
• ද්‍රව අවස්ථාවේ පවතින ජලය
• වායු අවස්ථාවේ පවතින ජලය
විදියට දකින්න පුලුවන්. ඝන අවස්ථාවේ ජලය පවතින ආකාරය හොඳම උදාහරණය තමයි අයිස්කැට හිම වගේම ග්ලැසියර්. ධ්‍රැවාසන්න ප්‍රදේශ වල තමයි ග්ලැසියර් වැඩිපුරම තියෙන්නේ. ඒ ජලය ඝන අවස්ථාවේ පවතින ප්‍රධානම ආකාරයක්.
ද්‍රව විදියට තියෙන ජලය අපි හොඳටම දන්නවා. ළිඳේ තියෙන ජලය පොකුණු ජලය ජලාශ වල ජලය. මේ සියලුම ජලය අපිට දකින්න තියෙන්නේ ද්‍රව අවස්ථාවේ. ද්‍රව ලෙස ඇති ජලයට නිශ්චිත පරිමාවක් තිබුණත් නිශ්චිත හැඩයක් නැහැ.
ජලය වායු අවස්ථාවේ පවතින විට ඊට පරිමාවක් සහ හැඩයක් ඇත්තේම නැහැ. ඊට හොඳම උදාහරණය තමයි ජලය වාෂ්ප සහ හුමාල වායුව.
අවට පරිසරයේ ජලය පවතින ආකාරය අනුව
1. වර්ෂනය
2. මතුපිට ජලය
3. භූගත ජලය
විදිහට වර්ග කරන්න පුළුවන්. පරිසරයේදී වර්ෂනය ජලය හමුවන්නේ වර්ෂාව හිම හිමකැට වැස්ස අයිස් කැට වැස්ස වගේ ස්වරූපවලින්. මතුපිට ජලය තමයි සාගරයේ මුහුදු ගංගා ඇළ දොළවල දියඇලිවල රැස් වෙලා තියෙන්නේ. භූගත ජලය තමයි අපි ළිං වලින් සහ උල්පත් වලින් ලබා ගන්නේ. වර්ෂන ජලය මතුපිට ජලය සහ භූගත ජලය යන මාර්ග වලින් ගන්නා ජලය ඉතාම සීමිත සම්පතක් වෙනවා.
වායුගෝලයේ ජලවාෂ්ප තියෙනවද කියන එක ගැන අපිට පොඩි පරීක්ෂණයක් ගෙදර ඉදලම කරන්න පුළුවන්. වීදුරුවකට ජලය භාගයක් වෙන්න පුරවන්න. එයට අයිස් කැට කිහිපයක් එකතු කරලා ඊට පස්සේ වීදුරුව කාඩ්බෝඩ් කෑල්ලකින් වහන්න. ටික වෙලාවකින් වාතයේ තියෙන ජලවාෂ්ප ඝනීභවනය වෙලා වීදුරුවේ පිට පැත්තේ පෘෂ්ඨය තැන්පත් වෙලා තියෙන ආකාරය ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම වායුගෝලයේ ජලවාෂ්ප තියෙනවා. මේ ක්‍රියාකාරකම ඔබ අත්හදා බලන්න.
by Dilki Shamani
Photo source : Internet
1286 Views
Comments