7 ශ්‍රේණිය - ඉතිහාසය: අපගේ සංස්කෘතික උරුම

ආදරණීය දුවේ පුතේ අද අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ සිව් වැන්නයි. එනම් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ සංස්කෘතික උරුම පිළිබඳවයි. පාසල් නිවාඩුව අර්ථවත්ව ගත කිරීම සඳහා දූලා පුතාලා මෙම පාඩම් මාලාව සමඟ එක්වීම ඉතාමත් වැදගත් වේවි.
වැසි ජලය රැස් කිරීමට අතීතයේ තැනූ විශාල වැව්, එම වැව්වල සහ වැව් බැමි වන විශාලත්වය එහි ඇති තාක්ෂණය කෙනෙකු පුදුම කරවීමට තරම් සමත්. එසේම අපේ මුතුන්මිත්තන් කළුගල් ඔප මට්ටම් කර විවිධ නිර්මාණ කරවා ඇති බවත් දූලා පුතාලා දැක ඇති. මෙලෙස භෞතික වස්තූන් පමණක් නොව අනාදිමත් කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සිරිත් විරිත්, ඇදහිලි, ජන ගායනා, ජන නැටුම්, ජනකතා, කලාශිල්ප, සාම්ප්‍රදායික වෛද්‍ය දැනුම ආදියද අපේ සංස්කෘතික උරුමයට අයත්. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඉහත සඳහන් විවිධ අංශ පිළිබඳව දැනුම වර්තමානයේ දී තම ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන ගැටළු විසඳා ගැනීම සඳහා භාවිතා කළ හැකි යි. අපේ රටේ අතීතයෙන් උරුම වූ විවිධ අත් බෙහෙත්, වගා සඳහා භාවිතා කරන කෙම් ක්‍රම ඊට උදාහරණ කීපයකි.
ඉතා පැරණි ඉතිහාසයක් ඇති රටක් ලෙස අපි සංස්කෘතික උරුම රැසක හිමිකරුවෝ වෙමු. ඒ අතර ආගමික ස්ථාන, රජමාලිගා, බලකොටු සහ උද්‍යාන මෙන්ම තවත් බොහෝ ඓතිහාසික ස්ථාන, ගොඩනැගිලි, විවිධ කලා නිර්මාණ, ආහාරපාන, සම්ප්‍රදායන්, චාරිත්‍ර-වාරිත්‍ර ආදී උරුමයන් රැසක් අප සතුව පවතී. මේ සියල්ල අපගේ සංස්කෘතික උරුමයන් ලෙස හඳුන්වන්නට පුළුවනි. එසේම මෙම උරුමයන් අපට අවශ්‍ය නම් අතින් අල්ලා වුවත් බැලිය හැකියි. එනම් ස්පර්ශ කළ හැකිය. එම නිසා මෙම උරුමයන් ස්පෘශ්‍ය උරුම ලෙස හැඳින්වේ. ඒ අනුව අපේ රටේ පිහිටි ආගමික ස්ථාන ජමාලිගා බලකොටු උද්‍යාන මෙන්ම තවත් බොහෝ ඓතිහාසික ස්ථාන ගොඩනැගිලි වැනි විවිධ කලා නිර්මාණ වැව් පොකුණු ඇළ වේලි සහ වැව් අමුණු සහ පැරණි පොත්පත් ආදිය අපට ස්පර්ශ කළ හැකි ඒවා වන බැවින් ඒවා ස්පෘශ්‍ය උරුමය ලෙස හඳුනාගත හැකියි.
බුලත් අතක් දී වැඩිහිටියන්ට වැදීම, අලුත් අවුරුද්දට ආගමික වතාවත්වල යෙදීම වැනි දේ පෙර සඳහන් කළ උරුම මෙන් අපට අතින් ඇල්ලිය නොහැකි එනම් ස්පර්ශ කළ නොහැකි හැසිරීම් හෙවත් ක්‍රියාකාරකම් වෙයි. ඒවා අපට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ චාරිත්‍ර-වාරිත්‍ර වේ. එවැනි උරුම අස්පෘශ්‍ය උරුම ලෙස හඳුන්වයි. යම් ජාතියකට අයත් ජනශ්‍රුති ම්ප්‍රදායන් සහ විවිධ භාෂාවන් ජන නැටුම් ජන ගීත සහ විවිධ කලාවන් පිළිබඳ දැනුම සිරිත් විරිත් ඇදහිලි සහ විශ්වාස විවිධ කෙම් ක්‍රම යනාදිය ද අස්පෘශ්‍ය උරුමයට අයත් වේ. මෙලෙස සංස්කෘතික උරුම රැසක් අප සතු බැවින් අභිමානවත් ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටීමට අපට හැකියාව ලැබී ඇත.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
5427 Views
Comments