7 ශ්‍රේණිය සෞඛ්‍ය: පෝෂදායි ආහාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

7 ශ්‍රේණිය සෞඛ්‍ය: පෝෂදායි ආහාර

7 ශ්‍රේණිය සෞඛ්‍ය: පෝෂදායි ආහාර

පුංචි ඔයාලට මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය ධාරාවට අයත් තවත් එක් වැදගත් පාඩමක්. මෙහිදී පෝෂදායි ආහාර ලබා ගැනීමට ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳව අවශ්‍ය කරන දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් වැදගත් පාඩමක්ද කියලා.

වෙළඳපළෙන් ආහාර මිලදී ගැනීමේදී සිට තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම දක්වා අප සෑම දෙනාටම හොඳ දැනුමක් තිබීම ඉතාමත් වැදගත්. ස්ථුල පුද්ගලයකු ආහාර තෝරා ගැනීමේදී කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ මේදය අඩුවෙන් අඩංගු ආහාර තෝරා ගත යුතු වන අතර රුධිරයේ කොලෙස්ටරෝල් අධික හෝ තම පවුලේ එවැනි රෝගී තත්ත්වයක කෙනෙකු වේ නම් මේ දේ බහුල විශේෂයෙන් සත්ව මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. තවද අක්ෂි ආබාධ සමෙහි කොරල හෝ හිසකෙස් වැටීම අධික අවස්ථාවල එළවළු පලතුරු පලා වර්ග ආහාරයට එක් කර ගත යුතු වේ. එමෙන්ම ටින් හෝ බෝතල් කරන ලද සහ පැකට් කරන ලද ආහාර වර්ග මිලදීගැනීමේදී අඩංගු ද්‍රව්‍ය, කල් ඉකුත් වන දිනය සහ ප්‍රමිති සහතිකය පිළිබඳව පාරිභෝගිකයන් වශයෙන් සොයා බැලීම ඉතාමත් වැදගත්.

එමෙන්ම ඔබ විසින් විධිමත් පාරිභෝගිකයන් වශයෙන් හැකිතාක් දුරට ස්වභාවික ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමට උනන්දු විය යුතුයි. කෘතිම හෝ සැකසූ ආහාර වෙනුවට හැකි සෑම විටම ස්වභාවික ආහාර තෝරා ගත යුතු වන අතර ස්වභාවික ආහාර වල නැවුම් බව ගුණාත්මක බව කෘතිම ආහාර වලට වඩා වැඩි වන අතර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවේ. එමෙන්ම ආහාර මැලවීම කල් ගතවීම නිසා ද, රසායන ද්‍රව්‍ය එක් වීම නිසා ද සිදුවිය හැකි බැවින් ඒවායේ පෝෂක නැවුම් ස්වභාවයෙන් නොපවතින අතර කෘමීන් පණුවන් ආදිය ද සිටිය හැකියි. එමනිසාවෙන් හැකි සෑම විටම මැලවුණු ස්වරූපයේ එළවළු පලා වර්ග සහ පලතුරු තෝරා නොගැනීමට වගබලා ගත යුතුයි. එමෙන්ම මාළු මිලදී ගැනීමේදී ලොකු මාළු වෙනුවට කුඩා මාළු ගැනීම සහ කරමල රත් පැහැ ගැන්වුනු දීප්තිමත් ඇස් ඇති මාළු මිලදී ගැනීම ද ඉතාමත් වැදගත්. තැලීම් පොඩි වීම් සහ පිම්බීම් සහිත ටින් වල ඇති රසායන ද්‍රව්‍ය වෙනස්වී තිබිය හැකි බැවින් එවන් ආහාර පරිභෝජනයට නුසුදුසු අතර විෂ වී මරණය පවා ගෙන දිය හැකි බව මතකයේ තබා ගන්න. එම නිසාවෙන් ඔබ විසින් වෙළඳපළෙන් එවැනි ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදී තැලී පොඩි වූ ටින් ආහාර ප්‍රතික්ෂේප කළ යුතුයි.

සකස් කළ ආහාර, නිශ්ඵල හා ක්ෂණික ආහාර භාවිතයෙන් වැලකිය යුතු අතර කෘතිම රසකාරක වර්ණකාරක ඇතැම් ඩයි වර්ග සහ කල් තබා ගැනීමට විවිධ රසායනික යෙදූ ආහාර භාවිතයෙන් වැළකිය යුතුයි. එමෙන්ම ආහාර වල පෝෂණ ගුණය වැඩි කරන සහ පෝෂ පදාර්ථ උරා ගැනීම වැඩි කරන ක්‍රම භාවිතා කරමින් ආහාර පිළියෙල කිරීම ද කළ යුතුයි. මාශ බෝග පිළියෙළ කිරීමට පෙර පෙඟවීම, මුං ඇට කව්පි පැළවීමට හැර භාවිතා කිරීම, විවිධ වර්ණවලින් යුතු ආහාර පරිභෝජනය, පලා වර්ග වලට දෙහි උම්බලකඩ පොල් එක් කිරීම, ආහාර වර්ග කිහිපයක් එක්කර පිසීම, ආහාර වේල් ආසන්නයේදී කෝපි පානයෙන් වැළකීම යනාදිය එම ක්‍රම කිහිපයකි. අපගේ ජීවන චක්‍රයේ විවිධ අවධි වන ළමා ළදරු නව යොවුන් වැඩිහිටි සහ මහලු අවධිවල දී ලබාගත යුතු පෝෂණය විවිධ වේ. එසේම ජීවිතයේ විවිධ අවස්ථාවලදී ලබාදිය යුතු පෝෂණය ද එම අවශ්‍යතාවට අනුව ගැලපෙන ලෙස සකස් කළ යුතුයි. පෝෂණය පිළිබඳ දැනුවත් වීමෙන් සහ ඒ පිළිබඳ පවතින මිථ්‍යා මත බැහැර කිරීමෙන් පෝෂණ ගැටලු අඩු කරගැනීමට හැකිවේ. එමෙන්ම පෝෂදායි ආහාර තෝරා ගැනීමේ සිට පිළියෙල කිරීම සහ පරිභෝජනය දක්වා පෝෂණය පිළිබඳ නිවැරදි පණිවුඩ සන්නිවේදනයට ඔබටද දායක විය හැකියි.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

 

views

1071 Views

Comments

arrow-up