7 ශ්‍රේණිය සෞඛ්‍යය: ශරීරාංග සුරැකීම

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය ධාරාව යටතේ එන තවත් එක් වැදගත් පාඩමක්. මෙහිදී බාහිර පෙනුමට බලපාන ශරීරාංග සුරැකීම පිළිබඳව අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් වැදගත් අධ්‍යයනයක්ද කියලා.
අපගේ ශරීරය ජීවය පවත්වා ගැනීම සහ ඉදිරියට ගෙනයාම සඳහා මනාව සැකසුණු අපූරු ජීව විද්‍යාත්මක නිර්මාණයක්. අපගේ පෞරුෂයට වැදගත් වන බාහිර පෙනුම ද ශරීරයේ නිරෝගී බවද රැකගනිමින් සෞඛ්යාරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අපි වගබලා ගත යුතුයි. මිනිසාගේ සිරුරේ විශාලම ඉන්ද්රිය සමයි. මුළු මිනිස් සිරුර ම ආරක්ෂා කිරීමත් ආවරණය කිරීමත් හැඩයක් ලබා දීමත් පෙනුමක් ලබාදීමත් සම මගින් සිදුවේ. අවශ්‍යතාවය අනුව සමෙහි සුළු සුළු අනුවර්තනය වීම් සිදුවී ඇත. සම බාහිර පරිසරය සමඟ ගැටෙන ස්ථානවල රළු බව වැඩියි. උදාහරණ වශයෙන් පාදයේ යටි පතුල, අතේ අත්ල ආදිය දැක්විය හැකියි. සම රෝම දරමින් දේහයට ආරක්ෂාව ලබාදෙන අතර නව සෛල නිපදවමින් පැරණි සෛල ඉවත් කරයි. එකිනෙකාගේ සම විවිධ වන අතර විවිධ අයට වියලි තෙල් සහිත සංවේදී හෝ සාමාන්‍ය සමක් පැවතිය හැකියි.
ශරීරයට බාහිර පෙනුමක් ලබාදීම, අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම, පරිවෘත්තීය ද්‍රව්‍ය බැහැර කිරීමට උදව් කිරීම, දේහ උෂ්ණත්වය පාලනය, සංවේදී ඉන්ද්‍රියක් ලෙස බාහිර පරිසරයෙන් ලැබෙන උණුසුම සීතල වේදනාව වැනි සංවේදන වලට ප්‍රතිචාර දැක්වීම, සූර්යාලෝකය ඇති විට විටමින් D නිෂ්පාදනයට දායක වීම සම මගින් ඉටුවන කාර්යයන් කිහිපයකි. අළුහම්, පණු හොරි, දද හා කුෂ්ට, දහඩිය බිබිලි, පිළිකා, සුදු කබර, පොතු කබර යනාදිය සම මත හටගන්නා රෝග කිහිපයකි. සමට නිතර අවශ්‍ය පෝෂණය ලබා දිය යුතුයි. ඒ සදහා විටමින් A, D, ඛනිජ ලවණ හ ප්‍රෝටීන් අඩංගු ආහාර ඉතාමත් වැදගත්. ශරීරයේ සියලුම පරිවෘත්තීය ක්‍රියා සඳහා ද සමෙහි ජීවී බව ආරක්ෂා කිරීමට ද ජලය අවශ්‍යයි. එමගින් සම වියළීම වළක්වන අතර පැහැපත් වේ.
දිනපතා ස්නානය කිරීම හෝ දවසට දෙවරක් ඇඟ සේදීම මගින් සම පිරිසිදුව පවත්වා ගත හැකියි. ආලේපන ගැල්වීමේදී ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතු අතර සමට හිතකර බැක්ටීරියාවන් ද විනාශ වී යා හැකි බැවින් විසබීජ නාශක සහිත සබන් වර්ග භාවිතයේදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. එමෙන්ම උදෑසන හිරු කිරණෙහි විටමින්-ඩී නිෂ්පාදනය වන නමුත් තද සූර්ය කිරණ වලින් පැමිණෙන පාරජම්බුල කිරණ සමට විෂ සහිතයි. තද සූර්යාලෝකයට සම පිළිස්සී යයි. එම නිසා තද සූර්ය කිරණ වලින් ආරක්ෂා වීමට ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳිය යුතුයි. වැටීම් තැලීම් කැපීම් පිලිස්සීම් ආදියෙන් සමට හානි විය හැකි අවස්ථා අවම කරගත යුතු අතර සමහර තුවාල කැළෑල් ලෙස සම මත දිගු කාලීනව පවතී. විවිධ මාධ්‍ය අන්තර්ජාලය හෝ සමාජ වෙබ් අඩවි හරහා විවිධ ආලේපන සහ ක්‍රීම් වර්ග විවිධ රටවලින් හා ආයතන වලින් ගෙන්වාගෙන සමේ ආලේප කිරීමට යෞවන වයසේ පසුවන ඔබ ද පෙලඹීමට ඉඩ ඇත. එහිදී ඉතා සැලකිලිමත් විය යුතු වන්නේ එම ආලේපන ගැල්වීමෙන් සමෙහි ආසාත්මිකතා ඇති වීම පමණක් නොව රුධිරගතව විෂ එක්වීමෙන් විවිධ රෝග ඇතිවිය හැකි නිසාවෙනි. ආලේපන ගැල්වීමට අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත හා ප්‍රමිතියක් සහිතව ඒවා භාවිතා කළ යුතුය. පාසල් යන වයසේ ඔබ අනවශ්‍ය ලෙස ආලේපන වර්ග සම මත ආලේප කිරීම සුදුසු නොවේ.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
1013 Views
Comments