7 ශ්‍රේණිය - ඉතිහාසය: ශ්‍රී ලංකාවේ පැවැති වෙළඳාම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

7 ශ්‍රේණිය - ඉතිහාසය: ශ්‍රී ලංකාවේ පැවැති වෙළඳාම

7 ශ්‍රේණිය - ඉතිහාසය: ශ්‍රී ලංකාවේ පැවැති වෙළඳාම

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ ඉතිහාසය පාඩම් මාලාවේ තුන්වැන්නයි. මෙහිදී ඔයාලව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ අතීත ශ්‍රී ලංකාවේ පැවැති වෙළඳාම පිළිබඳවයි.

වෙළඳාම යනු අතීත ජනතාවගේ තවත් එක් ප්‍රධාන ජීවනෝපාය ක්‍රමයකි. මේ නිසා අතීත ශ්‍රී ලංකාවේ දියුණු වෙළඳාමක් පැවැත්වුණු අතර වර්තමානයේ මෙන් අතීතයේදීද වෙළඳාම දෙයාකාරයකින් සිදුවිය. රට ඇතුළත සිදු කළ වෙළඳාම සහ රටින් පිටත විදේශ රටවල් සමඟ සිදුකළ වෙළඳාමයි. මට ඇතුළත වෙළඳාම අභ්‍යන්තර වෙළෙඳාම ලෙසත් විදේශ රටවල් සමඟ වෙළඳාම බාහිර වෙළඳාම හෝ විදේශ වෙළඳාම ලෙසත් හැඳින්වේ. අභ්‍යන්තර වෙළෙඳාම සඳහා බහුලව භාණ්ඩ හුවමාරු ක්‍රමය සිදු වුවත් කාසි භාවිතය ඉතා සුළු වශයෙන් තිබුණි. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරගැනීම භාණ්ඩ හුවමාරුව නම් වේ. භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ගෙවිය යුතු වුවත් මෙහිදී මුදල් වෙනුවට භාණ්ඩ ලබාදීම මගින් ගෙවීම සිදු වේ.

වෙළඳාම දියුණු වීමත් සමඟ වෙළෙඳ නගර බිහි විය. අනුරාධපුරය මාගම එවැනි වෙළෙඳ නගර දෙකකි. ඇතැම්විට මෙබඳු වෙළඳ නගර මූලාශ්‍රවල නිගම යනුවෙන් හඳුන්වා ඇත. වෙළඳාමෙන් ධනවත් වූ අය මෙම නගරවල ජීවත් වූ අතර මෙම පිරිස අතර දේශීය මෙන්ම විදේශීය ජනයා ද සිටි බව පෙනේ. වෙළඳාමට සම්බන්ධ අය වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වූ අතර එවැනි වෙළෙඳ සංවිධාන පුග යනුවෙන් හඳුන්වා ඇත. විදේශීය වෙළෙඳුන් සංවිධානය වී සිටි වෙළඳ ශ්‍රේණි කිහිපයක් විය. එම එක් එක් වෙළඳ ශ්‍රේණි තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සංකේත භාවිතා කර ඇති අතර ඒවා මුද්‍රා ලෙස හඳුන්වනු ලැබුණි.

නගර වලට අමතරව වෙළඳාමට සම්බන්ධ වෙළඳ ගම් ද පැවතුණි. පට්ටන ගම් යනුවෙන් එබඳු වෙළඳ ගම් හඳුන්වා ඇත. නගරයේ වෙළඳසැල් වල විවිධ භාණ්ඩ විකිණීම සිදු විය. වළං රෙදිපිළි ආභරණ කෑම බීම ඊට උදාහරණ වේ. මාගම සිට පැමිණි සුරනිමල යෝධයා අනුරාධපුරයේ පිහිටි වෙළඳසැලකින් සුවඳ විලවුන් මිලදී ගැනීමේ සිද්ධියක් පිළිබඳ මූලාශ්‍රවල සඳහන් වේ. හතරවන උදය රජතුමා මහියංගණ විහාරයට පැමිණි අවස්ථාවක අසල සොරබොර ප්‍රදේශයේ පිහිටි හෝපිටිගමු වෙළඳපලේ අකටයුතුකම් සිදු වන බවට ප්‍රදේශවාසීන් රජුට පැමිණිලි කළහ. එම අකටයුතුකම් නතර කරවීම සඳහා රජතුමා විසිනි ශිලා ලිපියක් පිහිටුවන ලදී. එය බදුලු ටැම් ලිපිය යනුවෙන් හඳුන්වන අතර එහි දැක්වෙන වෙළෙඳපොළ පාලනයට අදාල නීති රීති ගණනාවක් තිබුණි. වෙළඳපොළට ගෙනෙන භාණ්ඩ පෙරමඟට ගොස් නොගත යුතුය, අනුමත නොකල තරාදි පඩි භාවිතා නොකළ යුතුය, බුලත් පුවක් ආදිය නියමිත මණ්ඩප වල තබා විකිණිය යුතුය, වෙළඳපලට ගෙනෙන භාණ්ඩ විකුණුවොත් මිස ඒවා වෙළෙඳපොළ හරහා ගෙන ගියාට බදු අය නොකළ යුතුය යනාදිය එම නීති කිහිපයකි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම නිසා අතීතයේ සිටම විදේශීය රටවල් සමඟ ඉතා දියුණු වෙළෙඳ සම්බන්ධතා පවත්වා ඇත. ඉන්දියාව චීනය රෝමය අරාබිය සහ අග්නිදිග ආසියාතික රටවල් ඒ අතර විය. පිගන්, සේද රෙදි, සුවඳ විලවුන් මෙන්ම අශ්වයන්ද විදේශ රටවලින් මෙරටට ගෙනවිත් තිබේ.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

3388 Views

Comments

arrow-up