9 ශ්‍රේණිය විද්‍යාව : ඝන ද්‍රව්‍ය මඟින් ඇති කරන පීඩනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
30

9 ශ්‍රේණිය විද්‍යාව : ඝන ද්‍රව්‍ය මඟින් ඇති කරන පීඩනය

9 ශ්‍රේණිය විද්‍යාව : ඝන ද්‍රව්‍ය මඟින් ඇති කරන පීඩනය

පසුගිය ලිපිවලින් සලකා බලන ලද බලය හා ඉතා සමීප සංකල්පයක් වන පීඩනය පිළිබඳව අපි අද  ලිපියෙන් සලකා බලමු.

පීඩනය පිළිබඳව සරල උදාහරණයක් සලකා බලමු.

මොට දාරයක් සහිත පිහියකින් අඹ ගෙඩියක් කැපීමට ඉතා වැඩි වෙහෙසක් වැය කළ යුතු නමුත් එම අඹ ගෙඩියම තියුණු මුවහත් පිහියකින් වැඩි වෙහෙසක් වැය නොකරම කපා ගැනීමට හැකි බව ඔබ එදිනෙදා ජීවිතයේදී අත් විඳ තිබිය හැකිය. එසේ වන්නේ ඇයිමොට පිහියක දාරයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වීම නිසා අප යොදන බලය වැඩි වර්ගඵලයක් ඔස්සේ පැතිරේ. එවිට අඹ ගෙඩිය මත ඇති වන තෙරපුම අඩු වේ. එම නිසා අපට අඹ ගෙඩිය කැපීම අපහසු වේ.  නමුත් මුවහත් පිහියක අඩු පෘෂ්ඨ වර්ගඵලයක් ඇති තියුණු දාරය නිසා අප යොදන බලය අඩු වර්ගඵලයක් ඔස්සේ පැතිරී වැඩි තෙරපුමක් අඹ ගෙඩිය මත ඇති කරයි. එම නිසා ඉතා පහසුවෙන් අඹ ගෙඩිය කැපීමට හැකි වේ. එමෙන්ම මුවහත් පිහියක් මත කුඩා බලයක් යෙදීමට වඩා විශාල බලයක් යෙදීමෙන් අඹ ගෙඩිය පහසුවෙන් කපා ගැනීමට හැකි බවත් ඔබ අත් විඳ ඇත. මෙම උදාහරණය අනුව  අඹ ගෙඩිය මත ඇති වන තෙරපුම හෙවත් පීඩනය කෙරෙහි අප යොදන බලයේ ප්‍රමාණය හා එම බලය පැතිර යන වර්ගඵලය බලපාන බව  පැහැදිලි වේ.

 

එම නිසා අපට පීඩනය ඒකක වර්ගඵලයක් මත එම වර්ගඵලයට අභිලම්බව යෙදෙන බලය ලෙස අර්ථ දැක්විය හැකිය. ඝන ද්‍රව්‍යයක් මත ඇති වන පීඩනය කෙරෙහි ඒ මත යෙදෙන බලය බලපාන අතර වැඩි බලයක් යෙදීමෙන් වැඩි පිඩනයක්ද, අඩු බලයක් යෙදීමෙන් අඩු පිඩනයක්ද ඇති කළ හැකිය. එමෙන්ම  ඝන ද්‍රව්‍යයක් මත ඇති වන පීඩනය කෙරෙහි එම බලය ක්‍රියා කරන වර්ගඵලයද බලපාන අතර වැඩි වර්ගඵලයක් මත අඩු පිඩනයක්ද අඩු වර්ගඵලයක් මත වැඩි පිඩනයක්ද ඇති කළ හැකිය.

 

 

ඒ අනුව,

                                               පීඩනයඅභිලම්බ බලය   (N) / බලය ක්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය(m2)

 

 

 

එම සමීකරණයට අනුව බලය නිව්ටන්(N) වලින්  හා වර්ගඵලය වර්ග මීටර් (m2) වලින් මනින බැවින් පීඩනයේ සම්මත ඒකකය වර්ග මීටරයට නිව්ටන්(Nm-2) වේ. තවද බ්ලෙයිස් පැස්කල් නම් විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස පැස්කල්(Pa) නම් ඒකකයක්ද පිඩනය මැනීමට භාවිතා වේ.

 

1 Pa=Nm-2

 

පීඩනයට බලපාන සාධක අවශ්‍යතාවට සරිලන පරිදි වෙනස් කර ගැනීමෙන් අපට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කර ගත හැකිය.  බර වාහන වල රෝද වැඩි ගණනක්  යෙදීමෙන් මාර්ගය මත ඇති වන පීඩනය අවම කිරීම, ගමන් මලු වල පටි වැඩි වර්ගඵලයක් ඇති වන සේ නිමවා තිබීමෙන් අත මත ඇති වන පීඩනය අවම කිරීම වැනි අවස්ථා මිට නිදසුන් ලෙස දැක්විය හැකිය.

 

 

 

 

 

 

by D.S.Ishanthi.

Photo source : Internet

views

3327 Views

Comments

arrow-up