9 ශ්‍රේණිය විද්‍යාව : බලය පිලිබඳ සංකල්ප - 1
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

9 ශ්‍රේණිය විද්‍යාව : බලය පිලිබඳ සංකල්ප - 1

9 ශ්‍රේණිය විද්‍යාව : බලය පිලිබඳ සංකල්ප - 1

එදිනෙදා ජිවිතයේ සෑම ක්‍රියාකාරකමකම පාහේ අපි බලය යොදා ගනිමු. උදාහරණ ලෙස බෝලයකට පිත්තෙන් පහර දීම, පෙට්ටියක් බිම දිගේ තල්ලු කිරීම, ඇණයකට මිටියකින් පහර දීම හා පාර්සලයක් ඉහලට එසවීම වැනි ඕනෑම ක්‍රියාකාරකමකදී අපි බලය යොදා ගනිමු. එනම් බලයක් සරලවම ඇදීමක් හෝ තල්ලු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

 

ඔබට බලයක් යෙදීමෙන් ගිනි පෙට්ටියක් වැනි කුඩා දෙයක් ඉතා පහසුවෙන් තල්ලු කල හැකි නමුත් අල්මාරියක් වැනි විශාල යමක් එලෙස පහසුවෙන් තල්ලු කිරීමට නොහැකි වනු ඇත. ඒ අනුව බල යොදන සමහර අවස්ථාවල වස්තු චලනය කල හැකි නමුත් සෑම අවස්ථාවේදීම එසේ වස්තුන් චලනය කල නොහැක.

එමන්ම ඔබට බිම දිගේ පෙරලෙන බෝලයක් අතින් අල්ලා නැවත්වීමට හැකිය. එය එසේ වන්නේද බෝලය මත අතින් බලයක් යෙදීම හේතුවෙනි.  තවද බෝලයකට පිත්තෙන් ගැසීමෙන් එහි වේගය හා දිශාව යන දෙකම වෙනස් කල හැකිය. එමෙන්ම මැටි ගුලියක් මත බලයක් යෙදීම මඟින් එහි හැඩය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකිය. 

 

ඒ අනුව බලයක් යෙදීම මඟින් නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනය කිරීමටත්, චලනය වන වස්තුවක් නිශ්චල කිරීමටත්, චලනය වන වස්තුවක දිශාව හා වේගය වෙනස් කිරීමටත්, වස්තුවක හැඩය වෙනස් කිරීමටත් හැකිය.

 

 

බලය පිළිබඳව අධ්‍යනයේදී බලයේ විශාලත්වය ඉතා වැදගත් සාධකයක් වේ. ඉහත සඳහන් කල පරිදි ගිනි පෙට්ටියක් තල්ලු කිරීමට ඉතා කුඩා බලයක් ප්‍රමාණවත් වුවද අල්මාරියක් වැනි විශාල වස්තුවක් චලනය කිරීමට විශාල බලයක් යෙදීමට සිදු වෙනු ඇත. මෙසේ සිදු වන්නේ බලයට විශාලත්වයක් ඇති බැවිනි.

 

බලයේ විශාලත්වය මැනීමට විවිධ උපකරණ භාවිත කරන අතර විද්‍යාගාරයේදී වැඩි වශයෙන් භාවිත වන්නේ දුනු තරාදියයි.  එහිදී අපි යොදන බලය අනුව එහි ඇති දුන්නේ දිග වෙනස් වන අතර එහි ඇති ක්‍රමාංකනය මඟින් ඒ මත අප යෙදු බලය කියවා ගත හැකිය. බලයේ විශාලත්වය මනින අන්තර්ජාතික ඒකකය නිව්ටන්(N) වන බැවින් විද්‍යාගාර වල භාවිත වන දුනු තරාදි නිව්ටන් වලින් ක්‍රමාංකනය කර ඇත. නමුත් වෙළඳාමේදී යොදා ගන්නා දුනු තරාදි ක්‍රමාංකනය කර ඇත්තේ කිලෝ ග්‍රෑම්(Kg) වලිනි. දුනු තරාදියේ කොක්ක හා නුලක් ගැට ගසා එහි කෙලවර ගල් කැටයක් එල්ලීමෙන් එම ගල් කැටයෙහි බර එසේත් නැතිනම් පොලොව මඟින් එම ගල් කැටය මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය මැන ගත හැකිය.

 

 

 

 

 

 

 

 

by D.S.Ishanthi.

Photo source : Internet

views

2200 Views

Comments

arrow-up