6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : විනය සහ ශික්ෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : විනය සහ ශික්ෂණය

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : විනය සහ ශික්ෂණය

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ එන තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී විනය සහ ශික්ෂණය පිළිබඳව දරුවන්ට අවශ්‍ය කරන අවබෝධය ලබාදීමට අපේක්ෂා කරයි. බලන්න එය කෙතරම් වැදගත් මෙන්ම කාලීන පාඩමක් ද කියලා.

විනය යන්නෙන් අදහස් වන්නේ සමාජ සම්මතයන්ට අනුව කටයුතු කිරීම සහ නීති රීති අනුගමනය කිරීමයි. හික්මීම යනු ශික්ෂණයයි. එනම් නීති රීති ව්‍යවස්ථාව සහ සිරිත් විරිත් අනුව කටයුතු කිරීමයි. එකිනෙකාට ගෞරව දැක්වීම ආදරය කිරීම වරද පිළිගැනීම සමාව ඉල්ලීම සිදුවන්නේ විනයක් සහ ශික්ෂණයක් ඇති විටයි. නීතිරීති සහ ව්‍යවස්ථාව අනුගමනය කිරීම, එකිනෙකා කෙරෙහි ගෞරවය දැක්වීම, සාරධර්ම ගරු කිරීම, කාරුණික බව, මානව දයාව, සහයෝගී බව, මිත්‍රශීලී බව, යුක්ති ගරුක බව යනාදිය විනය සහ ශික්ෂණය සඳහා ප්‍රගුණ කළ යුතු ගුණාංග කිහිපයකි.


ඔබ අප මෙන්ම සෑම සියලු දෙනාම පවුලේ දී සහ සමාජයේ දී විනය සහ ශික්ෂණයෙන් යුතු ව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සහෝදර සහෝදරියන් සමග සුහදව සහ සමානාත්මතාවයෙන් කටයුතු කිරීම, දෙමව්පියන්ට කීකරු වීම ගරු කිරීම සහ සහයෝගය දැක්වීම, වැඩිහිටියන්ට ගෞරවයෙන් සැලකීම, ආචාරශීලීව කතා කිරීම, විනීතව හැසිරීම, වැඩිහිටියන්ගේ සංවාද වලට අනවසරයෙන් මැදිහත් නොවීම, ගුවන් විදුලිය රූපවාහිනිය සහ පරිගණකය භාවිතයේ දී මනා සංවරයෙන් සහ සංයමයෙන් යුක්ත වීම යනාදිය පවුලේ දී විනය සහ ශික්ෂණයෙන් යුතු ව කටයුතු කරන අවස්ථා කිහිපයකි. අසරණයන්ට ආබාධිතයන්ට සහ වැඩිහිටියන්ට සහයවීම, පොදු දේපළ පරිහරණය කිරීමේදී පරිස්සමෙන් කටයුතු කිරීම, එකිනෙකා කෙරෙහි ගරුත්වයෙන් කටයුතු කිරීම, තැනට සුදුසු හැසිරීම් සහ ඇඳුම් පැළඳුම් තෝරා ගැනීම, විවිධ උත්සවවලදී විනයානුකූලව හැසිරීම යනාදිය සමාජයේදී විනය සහ ශික්ෂණයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවන් වෙයි.

හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිරත වීම, පාසලේ සම්පත් ආරක්ෂා වන පරිදි පරිහරණය කිරීම, පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම, පාසල් නීතිරීති පිළිපැදීම, විනීතව හැසිරීම, විදුහල්පතිට සහ ගුරුවරුන්ට කීකරු වීම සහ ගෞරව කිරීම පාසලේ දී විනය සහ ශික්ෂණය සඳහා පවත්වාගත යුතු පුරුදු කිහිපයකි. මනා විනයක් සහ ශික්ෂණයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් බව දූලා පුතාලා දන්නවාද. තම අභිමානය සහ ගරුත්වය ආරක්ෂා වීම, සතුටින් සැහැල්ලු ජීවිතයක් ගත කළ හැකිවීම, අන් අයගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වීම, සමාජයට සම්බන්ධ යහපත් පුරවැසියෙකු බවට පත්වීම, දඬුවමට සහ අවමානයට ලක් නොවීම, සාමකාමී සමාජයක් බිහිවීම, සමාජ සාරධර්ම සහ ගුණධර්ම අගයන සමාජයක් බිහිවීම, රිය අනතුරු හදිසි අනතුරු අවම වීම මනා විනයක් සහ ශික්ෂණයක් පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්නුම් කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

 

views

2338 Views

Comments

arrow-up