6 ශ්‍රේණිය සෞඛ්‍ය : ආහාර ගැනීමේදී සැලකිලිමත් වියයුතු අංග

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලට තවත් වැදගත් පාඩම් කොටසක්. මෙහිදී සෞඛ්‍යවත් ආහාර ගැනීමේදී සැලකිලිමත් වියයුතු අංග පිළිබඳව අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ස්වාබාවික ආහාර යනු අවම වශයෙන් සකස් කිරීමට භාජනය වූ සහ රසකාරක වර්ණකාරක හෝ කල් තබා ගැනීම සඳහා රසායනික ද්‍රව්‍ය එකතු නොකළ ආහාරයි. ස්වභාවික ආහාර පෝෂණ ගුණය අතින් ඉහළයි. ඒවායේ ස්වභාවික විටමින් පවතින අතර කෙදි සහිත ගුණයෙන්ද යුක්ත වේ. සකස් කළ ආහාර සෞඛ්‍යයට හිතකර නොවේ. වෙළඳපොලේ විවිධ කෘතිම පාන වර්ග ඇති අතර ඒවා සෞඛ්‍යයට සුදුසු නොවේ. වතුර අපට ඇති සුදුසුම ස්වභාවික පානය වන අතර ජලය සිරුරේ ක්‍රියාවලින් බොහෝමයකට අත්‍යවශ්‍ය සාධකයක්. වැඩෙන වයසේ ඔබ දිනකට පිරිසුදු ජලය ලීටර් 1. 5 ත් 2ත් අතර ප්‍රමාණයක් පානය කිරීම ඉතාමත් වැදගත්. නැවුම් එළවළු සහ පලතුරුවල විටමින් සහ ඛනිජ ලවණ බහුල ලෙස අඩංගු වේ. කල් ගතවීමත් සමඟ ආහාරයේ පැහැය රසය සුවඳ ආදිය වෙනස් වන අතර එමඟින් ආහාර රුචිය ද අඩු කරයි. ආහාර පරණ වීමේදී ඒවායෙහි ඇති විටමින් වැනි පෝෂක කොටස් විනාශ වන අතර එම නිසා කල්යාමේදී ආහාරවල පෝෂදායි බව ද අඩු වෙයි.
ආහාර නිෂ්පාදනයේ දී ගබඩා කිරීමේ දී ප්‍රවාහනයේදි පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී පිරිසුදු බව රැක ගැනීම ඉතා වැදගත්. ආහාර නිෂ්පාදනයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර යෙදීම අවම කළ යුතුයි. ගබඩා කළ ආහාර ද්‍රව්‍ය කැරපොත්තන් මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමද ඉතාමත් වැදගත්. එසේ කළ යුතු වන්නේ එම සතුන් මගින් රෝගකාරක විෂබිජ පැතිරී යා හැකි නිසාය. ප්‍රවාහනයේ දී නරක් නොවන ලෙස විසබීජ එකතු නොවන ලෙස සුරක්ෂිතව ආහාර අසුරා තැබිය යුතුයි. ආහාර පිළියෙළ කිරීමට සහ අනුභව කිරීමට පෙර සබන් යොදා සේදීම අත්‍යවශ්‍ය වේ. එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදා ගත යුතුයි. ආරක්ෂිත බව යනු ආහාර තෝරා ගැනීමේ දී සකස් කිරීමේදී සහ පිළිගැන්වීමේදී නිසි ක්‍රමවේද භාවිතය මගින් ලෙඩ රෝග ඇතිවීම වලක්වා ගැනීමයි. එවිට පරිභෝජනයට සුදුසු ආහාර ලැබේ. එළවළු සහ පලතුරු තෝරා ගැනීමේදී ඒ ඒ කාලයට සුලභ අලුත් එළවළු සහ පලතුරු විවිධත්වයකින් යුතුව තෝරාගත යුතුයි. එමෙන්ම මාළු තෝරා ගැනීමේදී අලුත් දීප්තිමත් ඇස් සහිත රතු හෝ රෝස පැහැති කරමල් ඇති මාළු තෝරා ගත යුතුය. මස් වර්ග තෝරාගැනීමේදී දීප්තිමත් රතු හෝ රෝස වර්ණයෙන් යුතු මස් වර්ග තෝරා ගැනීම ඉතාමත් වැදගත් වන අතර ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී දුර්වර්ණ වූ විකෘති හැඩ ඇති හෝ ගුල්ලන් සහිත ඇට ගැනීමෙන් වලකින්න.
පැකට් කළ හෝ ටින් කළ ආහාර වර්ග තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතිය නිෂ්පාදිත දිනය කල් ඉකුත්වීමේ දිනය අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. පිම්බුනු තැලුණු හෝ පළුදු වූ ටින් ගැනීමෙන් වළකින්න. වතුර බෝතල් වෙළඳපොළෙන් මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකය ඇත්දැයි නිරීක්ෂණය කිරීම ඉතාමත් වැදගත්. නියමිත ප්‍රමිතිය සහ කල් ඉකුත් වීමේ දිනය ගැන සැලකිලිමත් විය යුතු අතර අනිවාර්යෙන්ම මූඩිය සීල් වී තිබේදැයි බැලිය යුතුයි. පලතුරු හෝ නැවුම් පලතුරු බීම, තැම්බූ මඤ්ඤොක්කා හෝ බතල පොල් සමඟ, සව් කැද, යෝගට් සහ මුදවපු කිරි, හැලප, තැම්බූ කඩල හෝ මුං ඇට, බඩ ඉරිඟු කරලක් යනාදිය සෞඛ්‍යසම්පන්න කෙටි ආහාර වර්ග වශයෙන් පෙන්වාදිය හැකියි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
3080 Views
Comments