6 ශ්‍රේණිය සෞඛ්‍යය: අවශ්‍යතා සහ ආශාවන්

දුවේ පුතේ තවත් වැදගත් මෙන්ම රසවත් පාඩමක් ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම. සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනය විෂය යටතේ අවශ්‍යතා සහ ආශාවන් පිළිබඳව අවශ්‍ය දැනුම ලබාදීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
මිනිසාට ජීවත්වීමට බොහෝ දේ අවශ්‍යයි. මේ අවශ්‍යතා මානව අවශ්‍යතා ලෙස හඳුන්වන්නට පුළුවනි. ඒවා අතරින් ජීවත්වීමට නැතිවම බැරි දේ හෙවත් අත්‍යවශ්‍ය දේ මූලික අවශ්‍යතා ලෙස හඳුන්වන අතර අත්‍යවශ්‍ය නොවුනත් ජීවත්වීමට අවශ්‍ය වෙනත් දේ වෙනත් අවශ්‍යතා හා වුවමනා වශයෙන් හඳුන්වනු ලබයි. මූලික අවශ්‍යතා යනු අපට ජීවත් වීම සඳහා නැතුවම බැරි සාධක වේ. ගල් යුගයේදී වනයේ ජීවත් වූ මිනිසාට ජීවත් වීම සඳහා අවශ්‍ය වූයේ ශ්වසනය සඳහා වාතයත් පිපාසය නිවා ගැනීම සඳහා ජලයත් කුසගින්න නිවා ගැනීම සඳහා ආහාරත් පමණි. මේවායෙන් එකකුදු නොමැතිව මිනිසාට ජීවත් විය නොහැකියි. එම නිසා වාතය ජලය සහ ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුන්වනු ලැබේ.
ජීවයේ පැවැත්මට පිරිසිදු වාතය අත්‍යවශ්‍යයි. කර්මාන්තශාලා සහ වාහන වලින් පිටවන දුම දුම් කවුළු නොමැතිකමින් නිවෙස් වල එකතු වන දුම සහ දුම්වැටි වලින් පිටවන දුම් ආදියෙන් වාතය අපිරිසිදු වේ. මේ අපිරිසිදු වාතය ආශ්වාස කිරීම නිසා අපට රෝග වැළඳීමේ අවදානමක් ඇත. එම නිසා මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් එකක් වන්නේ පිරිසිදු වාතය යි. මිනිසාගේ එදිනෙදා පැවැත්මට ජලය ද අත්‍යවශ්‍යයි. පෘථිවියේ වැඩි කොටසක් වැසී ඇත්තේ සාගර වලිනි. නමුත් සාගර ජලය කොතෙක් තිබුණත් එය අපගේ එදිනෙදා අවශ්‍යතා සඳහා භාවිතා කළ නොහැකියි. අපට භාවිතා කළ හැකි ජලය ඇත්තේ ගංගා මිරිදිය ජලාශ පොකුණු සහ භූගත ජලය වැනි ජල මූලාශ්‍රවල පමණි. එම ජලයද විවිධ ක්‍රම මගින් අපවිත්‍ර විය හැකියි. අපවිත්‍ර වූ ජලය භාවිතය හානිදායකයි. එම නිසා ජලයේ පිරිසිදු බව ආරක්ෂා කරගැනීම අප සියළු දෙනාගේ පරම වගකීමකි.
ශක්තිය ලබාගැනීමට සිරුර වර්ධනය කිරීමට සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පෝෂ පදාර්ත ආහාර මඟින් සපයා දෙයි. ඉහත කාර්යයන් ඉටු කර ගැනීම සඳහා සියලු පෝෂපදාර්ථ නියමිත ප්‍රමාණයෙන් අඩංගුවන සෞඛ්‍යවත් පිරිසිදු සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි. වර්තමානයේ දී ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දී විවිධ රසායන වර්ග බහුලව භාවිතා කරයි. මෙවැනි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යයට හානිකර වන බැවින් ආහාර තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි. ආදිවාසීන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන වාතය ජලය සහ ආහාර ලබාගැනීමෙන් පසුව තවත් අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි ක්‍රමයෙන් යොමුවී ඇත. එනම් ගල්යුගයේ සිටි ආදිවාසීන් වැස්සෙන් ආරක්ෂා වීම සඳහා නිවාස ලෙස ගල්ගුහා තෝරා ගත්හ. සතුන්ගේ ඇට වලින් හෝ ගල් වලින් ආයුධ සාදා ගැනීමට පුරුදු වූ අතර එම ආයුධ යොදාගෙන ආහාර පිණිස සතුන් දඩයම් කළ බව පැවසේ. සත්ව හම් ගස් වල කොළ අතු භාවිතාකර සිරුර වසා ගැනීමෙන් වැඩි සීතලෙන් සහ හිරු රශ්මියෙන් ආරක්ෂා වූ අතර සේ ඔවුන්ගේ ජීවන රටාව ක්‍රමක්‍රමයෙන් වෙනස් විය. ගල් යුගයේ ජීවත් වූ මිනිසා එඬේර යුගය පසුකරමින් කෘෂිකාර්මික යුගය දක්වාත් ඉන්පසු කාර්මික යුගය දක්වාත් ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ඇත.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
3479 Views
Comments