9 ශ්‍රේණිය විද්‍යාව : සංයෝග හා මිශ්‍රණ
සංයෝග
පසුගිය ලිපියෙන් අපි මුලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යනය කළ අතර එම මුලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් යම්කිසි අනුපාතයකින් රසායනිකව සංයෝජනය වී සංයෝග සෑදෙයි. එම සංයෝගවලින් සමහරක් විෂම පරමාණුක අණුවලින් සැදී ඇත. විෂම පරමාණුක අණු යනු එකිනෙකට වෙනස් පරමාණු වලින් සැදුනු අණුය. උදාහරණ ලෙස සෝඩියම් පරමාණුවක් හා ක්ලෝරීන් පරමාණුවක් රසායනිකව සංයෝජනය වී සෝඩියම් ක්ලෝරයිඩ් අණුව සැදීම, කාබන් පරමාණුවක් හා හයිඩ්‍රජන් පරමාණු 4ක් රසායනිකව සංයෝජනය වී මෙතෙන් අණුව සැදීම, නයිට්‍රජන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු 2ක් රසායනිකව සංයෝජනය වී නයිට්‍රජන් ඩයොක්සයිඩ් අණුව සැදීම හා ඔක්සිජන් පරමාණුවක් හා හයිඩ්‍රජන් පරමාණු 2ක් රසායනිකව සංයෝජනය වී ජල අණුව සැදීම ආදිය දැක්විය හැකිය. ඒ අනුව මුලද්‍රව්‍යවල හා සංයෝගවල ප්‍රධාන වෙනස්කම වන්නේ මුලද්‍රව්‍ය එකම වර්ගයේ පරමාණුවලින් සමන්විත වන අතර සංයෝග වර්ග දෙකක හෝ කිහිපයක පරමාණුවලින් සමන්විත විමයි.
සංයෝග නාමකරණය සඳහා රසායනික සංකේත භාවිත කරන අතර ඒවා රසායනික සුත්‍ර නම් වේ. උදාහරණ ලෙස සෝඩියම් ක්ලෝරයිඩ් - NaCl , මෙතෙන් - CH4, නයිට්‍රජන් ඩයොක්සයිඩ් - NO2 හා ජලය - H2O දැක්විය හැකිය.
මෙම සංයෝග සැදී ඇති මුලද්‍රව්‍යවලට එම සංයෝගයේ ගුණ නොපිහිටයි. එමෙන්ම එකම මුලද්‍රව්‍යවලින් සැදුණු එකිනෙකට වෙනස් සංයෝගවලට එකිනෙකට වෙනස් රසායනික ගුණ ඇත. උදාහරණයක් ලෙස ඔක්සිජන් පරමාණුවක් හා හයිඩ්‍රජන් පරමාණු 2කින් සැදුනු ජලය (H2O)හා ඔක්සිජන් පරමාණු 2ක් හා හයිඩ්‍රජන් පරමාණු 2කින් සැදුනු හයිඩ්‍රජන් පෙරෙක්සයිඩ් (H2O2) එකිනෙකට වෙනස් රසායනික ගුණ පෙන්වයි.
මිශ්‍රණ
අප අවට පරිසරයේ ඇති බොහෝ දෑ සංශුද්ධ නොවන ද්‍රව්‍ය එසේත් නැති නම් මිශ්‍රණ අකාරයෙන් පවතී. උදාහරණයක් ලෙස අප අවට ඇති වාතය නයිට්‍රජන්, ඔක්සිජන්, ජල වාෂ්ප ආදියෙහි මිශ්‍රණයකි. ඒ අනුව සංශුද්ධ ද්‍රව්‍ය කිහිපයක් එකට එක් වීමෙන් මිශ්‍රණ සෑදෙන අතර එම සංශුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණයේ සංඝටක නම් නම් වේ. එමෙන්ම මිශ්‍රණයක් යම් යම් භෞතික ක්‍රම යොදා ගැනීම මඟින් එහි අඩංගු සංඝටක වලට වෙන් කල හැකිය. උදාහරණ ලෙස බොරතෙල් භාගික ආසවනයෙන් විවිධ ඉන්ධන ලබා ගැනීම, කුරුඳු කොළ හුමාල ආසවනයෙන් කුරුඳු තෙල් ලබා ගැනීම, මුහුදු ජලය වාශ්පීභවනයෙන් ලුණු ලබා ගැනීම හා ගැරීම මඟින් මැණික් ලබා ගැනිම වැනි දෑ දැක්විය හැකිය.
මිශ්‍රණ කොටස් දෙකකට වෙන් කර අධ්‍යනය කල හැකිය. ඒ සමජාතීය හා විෂමජාතීය මිශ්‍රණ ලෙසයි. මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් ඇති මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ (උදා :- ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය ) ලෙසත් මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් නොමැති මිශ්‍රණ (උදා :- බොර ජලය) විෂමජාතීය මිශ්‍රණ ලෙසත් හැඳින්වේ.
by D.S.Ishanthi.
Photo source : Internet
4035 Views
Comments