6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - පොදු දේපල සුරැකීම

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ පුරවැසි අධ්‍යාපනය පාඩම් මාලාවේ එන තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී පොදු දේපල සුරැකීම පිළිබඳව අවශ්‍ය කරන අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.
එදිනෙදා ජීවිතයේදී අපට විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට සිදුවේ. ආහාර නිවාස ඇඳුම් පැළඳුම් සහ ඖෂධ අපගේ මූලික අවශ්‍යතාවන් ලෙස සැලකිය හැකියි. අධ්‍යාපනය ලැබීම, ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබාගැනීම, ගමන් බිමන් යාම, විවේකය ගත කිරීම ආදියද අපගේ අවශ්‍යතා අතර වේ. තවත් විවිධ අවශ්‍යතා අපට ඒදිනෙදා ජීවිතයේදි ඉටුකර ගැනීමට සිදුවේ. මෙම අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා පවත්වාගෙන යන සේවා පිළිබඳව දූලා පුතාලා මදකට සිතා බලන්න. ඔබට අධ්‍යාපනය ලබාදීම සඳහා පාසල් පිහිටුවා ඇත. ලෙඩ රෝග වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් පිහිටුවා තිබේ. ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා බස් රථ සේවා පවත්වාගෙන යයි. විවේකය ගත කිරීම සදහා විවිද පහසුකම් සපයා ඇත. මේ අයුරින් ඔබේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටුවා ඇති ආයතන සහ පවත්වාගෙන යන සේවා පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.
සියලුම පුරවැසියන් ගේ දායකත්වයෙන් ගොඩනැගුණු සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි සේවා ස්ථාන සහ ඒවාට අයත් භාණ්ඩ පොදු දේපල වේ. මහජන සුබ සිද්ධිය සහ මහජනයාට සේවා සැපයීම අරමුණු කරගෙන පවත්වාගෙන යාම, ලාභ අපේක්ෂාවෙන් තොරව රජය මඟින් සපයා තිබීම, පොදුවේ සැමට පරිහරණය කළ හැකි වීම පොදු දේපලවල ලක්ෂණ කිහිපයකි. ඔබේ පාසලේ තිබෙන ගොඩනැගිලි මේස පුටු පරිගණක යන්ත්‍ර පුස්තකාල පොත් විද්‍යාගාර උපකරණ ක්‍රීඩා උපකරණ ආදී සියල්ල පොදු දේපල වේ. ඒවා ඔබේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය මඟින් ලබාදී ඇති දේවල්. ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ඔබේ හැකියා සහ දක්ෂතා වර්ධනය කර ගැනීමට මේවා පරිහරණය කිරීමට ඔබට අයිතියක් ඇත. එමෙන්ම ඒවා සුරක්ෂිතව පරිහරණය කර අනාගත සිසු පරපුරට එම සම්පත් උරුම කර දීම ඔබගේ වගකීම හා යුතුකම වේ.
රෝහලක තිබෙන ගොඩනැගිලි උපකරණ සහ විවිධ භාණ්ඩ අපට සේවා සැපයීම සඳහා ප්‍රයෝජනවත් වන පොදු දේපල කිහිපයකි. ඒවා ආරක්ෂා කිරීමත් එම ස්ථාන පිරිසිදුව තබාගැනීමත් සේවා ලබා ගන්නා අයගේ යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ මාර්ග නවීකරණයටත්, අධිවේගී මාර්ග ඉදි කිරීමටත් රජය පියවර ගෙන තිබේ. ඉක්මනින් සහ ආරක්ෂා සහිතව ගමන් බිමන් යාමට සහ භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම එහි අරමුණයි. මහා මාර්ග වල ආරක්ෂිත වැට, මාර්ග සංඥා පුවරු ආදිය ඉදිකර ඇත්තේ මාර්ගය ප්‍රයෝජනයට ගන්නා අයගේ ආරක්ෂාව සඳහාය. ඒවා ආරක්ෂා කිරීම පුරවැසියන් වශයෙන් සැමගේ වගකීමකි. එමෙන්ම මහා මාර්ගය ගමනාගමනයට බාධාවන පරිදි වෙනත් කටයුතු වලට යොදාගැනීම කිසිවිටකත් නොකළ යුතුයි. එසේම මාර්ග ප්‍රයෝජනයට ගන්නා රියදුරන් සහ පදිකයන් තමා ආරක්ෂාව මෙන්ම සෙසු අයගේ ආරක්ෂාව ගැන ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
3065 Views
Comments