6 ශ්‍රේණිය විද්‍යාව - විදුලිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

6 ශ්‍රේණිය විද්‍යාව - විදුලිය

6 ශ්‍රේණිය විද්‍යාව - විදුලිය

විදුලිය කියන්නේ මිනිසාගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න තියෙන සුවිශේෂී ශක්ති ප්‍රභවයක්. නිවසේ එදිනෙදා කාර්යයන් වලට අමතරව කර්මාන්තශාලාවල යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවන්න සන්නිවේදන කටයුතු වලට වගේම වාහන ධාවනයට විදුලිය යොදා ගන්නවා. අත්‍යවශ්‍ය විදුලිය නිපදවීම සඳහා බහුලවම යොදා ගන්නේ ඩයිනමෝව සූර්ය කෝෂය වියලි කෝෂය වගේ උපාංග. විදුලි ධාරාව මැනීම සඳහා ගැල්වනෝමීටරය යොදාගන්නවා. මින් ඉතා කුඩා විදුලි ධාරාවක් මැනීම සිදු කළ හැකි වෙනවා. ඉතාම සුලු උපාංග කිහිපයක් යොදාගෙන ඔබටත් විදුලිය නිපදවන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ

 

    - පරිවරණය කරපු තඹ කම්බි
    - චුම්බක
    - ගැල්වනෝ මීටරයක්

සෙන්ටිමීටර දෙකක් තුනක් පමණ විශ්කම්භය තියෙන පිවිසී නලයක් වටේ මේ පරිවරණ කම්බියක් ඔතලා දඟරයක් සකස් කරගන්න ඕන. දඟරයේ කෙළවර හොඳින් සූරා පිරිසිදු කරගෙන වයර් දෙකක් සවිකර ගැල්වනෝමීටරයට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙනවා. දණ්ඩ චුම්බකය දඟරය හරහා එහා මෙහා ගෙන යමින් නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්. මෙහි ඔබට දැකගන්න පුළුවන් වේවි දණ්ඩ චුම්බකය චලනය කිරීමෙන් කම්බියෙන් විදුලි ධාරාවක් නිපදවෙනවා. ඒ කියන්නේ ගැල්වනොමීටරය හරහා අපිට නිපදවෙන විදුලිය මැන ගන්න පුළුවන්.

බයිසිකල් ඩයිනමෝව විදුලි ජනක යන්ත්‍රය ජල විදුලි බලාගාරය සුළං බලාගාර ආදිය තුළ විදුලිය නිශ්පාදනය කරන්නේ මෙන්න මේ බලය භාවිතා කරලා. කම්බි දඟරයක් ඇතුළත චුම්භකයක් කරකැවීමෙන් විදුලි ධාරාවක් නිෂ්පාදනය කරන බව මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ මයිකල් ෆැරඩේ නම් විද්‍යාඥයා.

 

ලංකාවේ විදුලිය නිපදවීම සඳහා විදුලි බලාගාර විවිධාකාර උපක්‍රම යොදා ගන්නවා. ජල විදුලිය සුළං බලාගාර තාප විදුලිය ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර ඒ අතර වෙනවා.

ජල විදුලි බලාගාරයකදී ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ජල පහරක් මඟින් තල බඹරයක් කරකැවීමට සලස්වා විශාල ඩයිනමෝවක් එයට සම්බන්ධ කරවීමෙන් විදුලිය නිශ්පාදනය කරනවා. මේ වගේ විදුලිය නිශ්පාදනය කරන ජල විදුලි බලාගාර පිහිටලා තියෙන්නේ කොත්මලේ වික්ටෝරියා රන්ටැඹේ රන්දෙණිගල ලක්ෂපාන ප්‍රදේශවල.

සුළං පෙත්තක් ආධාරයෙන් ඩයිනමෝවක් සුළං බලයෙන් විදුලිය නිශ්පාදනය කරන්නේ හම්බන්තොට සහ පුත්තලම ප්‍රදේශයේ.

ඒ වගේම තාප විදුලි බලාගාර අපේ රටේ දකින්න ලැබෙනවා. හුමාල ධාරාවක් මගින් තල-බඹරය කරකැවීමට සලස්වා ඩයිනමෝව එයට සම්බන්ධ කර තාපයෙන් විදුලිය නිශ්පාදනය කරනවා. නොරොච්චෝලේ තියෙන්නේ තාප විදුලි බලාගාරයක්.

ඉන්ධන මගින්ද විදුලිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට එන්ජිමක් මගින් ඩයිනමෝව කරකවනවා. කැලණිතිස්ස බලාගාරය ඉන්ධන මගින් විදුලිය නිපදවන විදුලි බලාගාරයක් වෙනවා.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3117 Views

Comments

arrow-up