6 ශ්‍රේණිය සෞඛ්‍යය : අභියෝග

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලාගේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය පාඩම් මාලාවේ තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී එදිනෙදා ජිවිතයේ මුහුණ දීමට සිදුවන වෙනත් අභියෝග පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
එදිනෙදා ජීවිතයේදී අප නොයෙකුත් අනතුරුවලට ලක්විය හැකියි. ගෙදර දොරේ සේවා ස්ථානයේ පාසල් භූමියේ සහ මහමග මෙසේ අනතුරු ඇතිවිය හැකි ස්ථාන වේ. තියුණු ආයුධ උල් උපකරණ ආදියෙන් තුවාල සිදුවීම, උස් තැන් වලින් වැටීම, අනාරක්ෂිත ළිං වලට වැටීම, බල්ලන් බළලුන් මීයන් සපා කෑමක් හෝ සර්පයන් දෂ්ඨ කිරීම, අනාරක්ෂිත කුප්පි ලාම්පු නිසා පිලිස්සීම, දර ලිප් ගෑස් ලිප් මගින් සහ ආහාර පිසීමේදී පිළිස්සීම් ඇති වීම, ගිනිකෙළි භාවිතයේදී අනතුරු සිදුවීම, ආහාර විෂවීම, විදුලි සැර වැදීම සහ විෂ ද්‍රව්‍ය ශරීරගත වීම ගෙදර දොරේ දී සිදුවිය හැකි අනතුරු කිහිපයකි.
ගෙදර දොරේ දී සහ පාසලේ දී විශේෂයෙන්ම කුඩා දරුවන් අනතුරුවලට ලක්විය හැකියි. කුඩා දරුවන් නිතරම වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ සිටීම, තියුණු ආයුධ උල් උපකරණ ආදිය ඔවුන්ට හසුනොවන ස්ථානවල තැබීම සහ විෂ ද්‍රව්‍ය අගුල් දමා ආරක්ෂිතව තැබීම මගින් ගෙදර දොරේ අනතුරු අවම කරගත හැකියි. මාර්ග අනතුරු වලක්වා ගැනීමටද ඔබට විවිධ දේ කළ හැකියි. රියදුරන් සහ පදිකයන් මාර්ග නීති සහ ආචාර ධර්ම පිළිපැදීම, වෙහෙසට පත්ව සිටියදී හෝ නිදිමත දැනෙන විට රිය පැදවීමෙන් වැළකීම, බීමත්ව රිය පැදවීමෙන් හෝ පාරේ ගමන් කිරීමෙන් වැළකීම, රාත්‍රියේ දී පදිකයන් ලා පැහැති ඇඳුමින් සැරසී සිටීම, පදිකයන් පේළි වශයෙන් පාරේ ගමන් නොකිරීම එවැනි දෑ කිහිපයකි.
ස්වාබාවික ආපදා යනු ස්වභාව ධර්මයේ හදිසි වෙනස්වීම් මත ඇතිවන අහිතකර තත්ත්ව වේ. උදාහරණ ලෙස ගංවතුර නායයාම් සුළි සුළං නියඟය සුනාමි ගිනිකඳු පිපිරීම් භූමිකම්පා ආදිය සඳහන් කළ හැකියි. ආපදා අවස්ථාවකදී කලබල නොවී කල්පනාකාරීව කටයුතු කිරීමෙන් සැමගේම ජීවිත රැක ගැනීමට හැකියාව ලැබෙයි. සමාජයේ හොඳ යැයි සම්මත දේවල් සහ නීති රීති කඩ කරමින් ක්‍රියා කිරීම අපචාර ලෙස හඳුන්වයි. යම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට හිරිහැර කාරි ක්‍රියා සිදුකිරීම අපයෝජන ලෙස හඳුන්වයි. සමාජ සම්මත සහ නීති කඩකරමින් හැසිරෙන සමහර පුද්ගලයන් විසින් විශේෂයෙන්ම දරුවන් සහ කාන්තාවන් අපචාර සහ අපයෝජන වලට ලක් කිරීමට ඉඩ ඇත. එවන් අවස්ථා වලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීම දරුවන් වශයෙන් ඉතාමත් වැදගත්.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
869 Views
Comments