9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 3
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 3

9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් ඇස - 3

පසුගිය ලිපිවලින් ඇසේ ව්‍යුහය හා අක්ෂි දෝෂ පිළිබඳව අධ්‍යනය කරන ලද අතර අද ලිපියෙන් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන ඇස ආශ්‍රිත රෝග කිහිපයක් පිළිබඳව අධ්‍යනය කරමු.

 

1. ඇසේ සුද ඇති වීම

 

අක්ෂි කාචය සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත් වීම නිසා අක්ෂි කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වී සුදු පැහැයක් ගැනීම ඇසේ සුද ඇති වීම ලෙස හැඳින්වේ. එවිට ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත නොවීම නිසා අවට ඇති වස්තු පැහැදිලිව නොපෙනේ. ඇසේ සුද ඇති වීම වයසට යාමත් සමඟ ඉතා සුලභව දක්නට ලැබෙන අක්ෂි රෝගී තත්වයකි. තවද ජානමය තත්ත්ව මෙන්ම ඕසෝන් වියන සිදුරු වීම නිසා සුර්යයාගේ අහිතකර පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම හේතුවෙන්ද ඇසේ සුද ඇති විය හැකිය.

 

2. ග්ලුකොමාව

 

 

ඇසේ දෘෂ්ටික ස්නායුවට හානි වීම නිසා දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත් වීම ග්ලුකොමාව නම් වන අතර මෙය ආරම්භයේදීම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් පාලනය කිරීමට හැකිය. අධික රුධිර පීඩනය හා දියවැඩියාව ඇති අයට මෙම රෝගය ඇති වීමේ අවධානම වැඩිය. 

 

3. අක්ෂි ආසාදන

අක්ෂි ආසාදන වෛරස මඟින් ඇති වන අතර මෙහිදී ඇස් රතු වීම, කඳුළු ගැලීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබ කව්රුත් එදිනෙදා ජීවිතයේදී ඇස් ලෙඩ නමින් හඳුන්වන්නේ මෙවැනි වෛරස් ආසාදනයි. කෝදුරුවන් මඟින් හා ස්පර්ශය මඟින් බෝවන මෙය ප්‍රතිකාර මඟින් සුව වේ.

 

මීළඟට අපි මිනිස් ඇසේ සුවිශේෂීතාවක් වන ද්විනේත්‍රික දෘෂ්ටිය පිළිබඳව සලකා බලමු.

 

මිනිස් ඇසට ත්‍රිමාණ දෘෂ්ටිය ඇත. එනම් ඊට වස්තුවක ගැඹුර හෝ උස හඳුනාගත හැක. තවද මිනිස් ඇසට වස්තුවකට ඇති දුරද තීරණය කර ගත හැකිය. මිනිස් ඇසට මෙම හැකියාවන් ලැබී ඇත්තේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසාය.  ද්විනේත්‍රික දෘෂ්ටිය යනු ඇස් දෙකෙන්ම එකම පරාසයක් බලා ගැනීමට ඇති  හැකියාවයි. ගවයන්, බල්ලන් වැනි සතුන්ට මෙම හැකියාව නැත. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ඇස් මිනිසුන්ගේ, ගොරිල්ලන්ගේ මෙන් හිස්කබලේ ඉදිරිපසට වන්නට නොපිහිටීමයි.

 

මිනිස් සිරුරේ වැදගත්ම අවයවයන්ගෙන් එකක් වන ඇස හා දෘෂ්ටිය රැක ගැනීම සඳහා කළ හැකි දේ මොනවාද ?

  • වෛද්‍ය උපදෙස් වලින් තොරව උපැස් යුවල් හා අව් කන්නාඩි භාවිතා නොකිරීම.
  • වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට විවිධ දියර හා ඖෂධ වැනි දෑ නොදැමීම.
  • සුර්යග්‍රහණ නැරඹීමේදී ඍජුව සුර්යයා දෙස නොබලා ඒ සඳහා ආරක්‍ෂිත ක්‍රම යොදා ගැනීම.
  • වැල්ඩින් කිරීම වැනි ඇසට අනතුරු සිදු විය හැකි අවස්ථාවල ඒවාට සුදුසු ආවරණ යොදා ගැනීම.

 

 

 

 

 

 

by D.S.Ishanthi

Photo source : Internet

views

3367 Views

Comments

arrow-up