9 ශ්‍රේණිය විද්‍යාව : මානව රුධිර සංසරණ පද්ධතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

9 ශ්‍රේණිය විද්‍යාව : මානව රුධිර සංසරණ පද්ධතිය

9 ශ්‍රේණිය විද්‍යාව : මානව රුධිර සංසරණ පද්ධතිය

මිනිස් ශරීරය පුරා ශරිරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිවහනය වන්නේ රුධිර සංසරණ පද්ධතියේ දායකත්වයෙනි. මෙහිදී හෘදයෙන් පොම්ප කරන රුධිරය රුධිර නාළ ඔස්සේ ශරීරය පුරා ගමන් කිරීම සිදුවේ.

 

ප්‍රථමයෙන්ම අපි මිනිස් සිරුරේ හා රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධානම අවයවය වන හෘදය පිලිබඳව සලකා බලමු.

 

 

හෘදය වම් කර්ණිකාව, දකුණු කර්ණිකාව, වම් කෝෂිකාව හා දකුණු කෝෂිකාව ලෙස කුටීර 4 කින් සමන්විත වෙන අතර හෘදයේ ඉහලින් පිහිටි කුටීර 2  කර්ණිකා ලෙසත් පහලින්  පිහිටි කුටීර 2  කෝෂිකා ලෙසත් සැලකේ. මෙම කර්ණිකා හා කෝෂිකා වෙන් වන ස්ථානයේ කපාට 2ක් ඇති අතර වම් කර්ණිකාව  හා කෝෂිකාව අතර පිහිටි කපාටය ද්වි තුණ්ඩ කපාටය ලෙසත් දකුණු කර්ණිකාව  හා කෝෂිකාව අතර පිහිටි කපාටය ත්‍රි තුණ්ඩ කපාටය ලෙසත් හැඳින්වේ.

 

කෝෂිකාවලට මහා ධමනි 2ක් සම්බන්ධ වන අතර වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනියත් දකුණු කෝෂිකාවෙන් පුප්ඵුසිය මහා ධමනියත් ඇරඹේ. එම ධමනි දෙකම කෝෂිකා තුළ ආරම්භ වන ස්ථාන දෙකෙහි අඩ සඳ කපාට පිහිටා ඇත. එමෙන්ම වම් හා දකුණු කර්ණිකා තුලට ශිරා විවෘත වී ඇත. වම් කර්ණිකාවට වම් හා දකුණු පුප්ඵුසිය ශිරා විවෘත වන අතර දකුණු කර්ණිකාවට උත්තර මහා ශිරාව හා අධර මහා ශිරාව විවෘත වේ.

 

මීළඟට අපි හෘදයෙන් පොම්ප කරන රුධිරය ශරීරය පුරා සංසරණයට දායක වන ධමනි, ශිරා හා කේශ නාලිකා පිලිබඳව සලකා බලමු.

ධමනි යනු හෘදයෙන් ඉවතට රුධිරය රැගෙන යන නාල වන අතර ශිරා යනු  හෘදය දෙසට රුධිරය රැගෙන එන නාල වේ. රුධිර පොම්ප කරන අවස්ථාවේ ඇති වන අධික පිඩනයට ඔරොත්තු දීම සඳහා ධමනිවල බිත්ති ඝනකම් හා ප්‍රත්‍යස්ථ වේ. නමුත් ශිරාවල රුධිර පීඩනය සාපේක්ෂව අඩු බැවින් ඒවා ඝනකම් හෝ ප්‍රත්‍යස්ථ නොවේ.

 

 

ඉහත සඳහන් කල පුප්ඵුසිය මහා ධමනිය පෙනහළු වලට රුධිරය සපයන අතර අනෙක් ඉන්ද්‍රින්ට සංස්ථානික මහා ධමනිය මඟින් රුධිරය සැපයේ. ධමනි තව දුරටත් බෙදීමෙන් ධමනිකා සහ ධමනිකා තව දුරටත් බෙදීමෙන් කේශනාලිකා සැදේ. රුධිර කේශනාලිකා සැලකීමේදී ඒවා තනි සෛල ස්ථරවලින් සැදී ඇති අතර රුධිරයේ ඇති පෝෂක, සෛලවලට විසරණය වීමටත් සෛලවලින් බැහැර වෙන ද්‍රව්‍ය රුධිර කේශනාලිකා තුලට ගැනීමටත් හැකි වන සේ හැඩ ගැසී ඇත.

 

එම කේශනාලිකා නැවත එක් වී අනුශිරා සැදිමෙන් අනතුරුව ඒවා ශිරා බවට පත් වේ. එලෙස පෙනහළු වලින් ඇරඹෙන පුප්ඵුසිය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. තවද හෘදයට පහලින් ඇති අවයවවලින් ඇරඹෙන ශිරා අධර මහා ශිරාවටත්, හෘදයට ඉහලින් ඇති අවයවවලින් ඇරඹෙන ශිරා උත්තර මහා ශිරාවටත් සම්බන්ධ වේ.

 

 

 

 

 

 

by D.S.Ishanthi.

Photo source : Internet

views

10711 Views

Comments

arrow-up