6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - පොදු දේපල සුරැකීමේ වාසි

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔයාලගේ පුරවැසි අධ්‍යාපන විෂය යටතේ එන තවත් එක් වැදගත් පාඩමක්. මෙහිදී පොදු දේපල සුරැකීම නිසා අත්වන ප්‍රයෝජන පිළිබඳව අවශ්‍ය කරන දැනුම ලබාදීම අපේක්ෂා කරයි. පාසල් නිවාඩු කාලය සෙල්ලම් කිරීමට පමණක්ම යොදවනවාට වඩා මෙවැනි කරුණු පිළිබඳව ලබන අවබෝධය ඉතාමත් වැදගත්.
සියලුම පුරවැසියන් ගේ දායකත්වයෙන් ගොඩනැගුණු සියලුම පුරවැසියන්ට පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි සේවා ස්ථාන සහ ඒවාට අයත් භාණ්ඩ පොදු දේපළ වශයෙන් සරලවම හඳුන්වන්නට පුළුවනි. අපේ ඉරිදා කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා විදුලි බලය භාවිතයට ගනිමු. විදුලි බලාගාර, විදුලි සැපයුමට සම්බන්ධ උපකරණ ආදිය සුරැකීම කෙරෙහි සෑම පුරවැසියෙකුගේම අවධානය යොමු විය යුතුයි. බස්රථ, බස් නැවතුම්පළ, දුම්රිය, දුම්රිය ස්ථාන, ක්‍රීඩා පිට්ටනි, ළමා උද්‍යාන, පුස්තකාල ආදියද පොදු දේපල වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. එම දේපළ ආරක්ෂා කිරීමත් එම ස්ථාන පවිත්‍රව තබා ගැනීමටත් යහපත් පුරවැසියෙකු වශයෙන් දායක විය යුතුයි.
ග්‍රාමීය ප්‍රදේශවල පොදු අවශ්‍යතා සපුරාලීම සඳහා පොදු ළිං, නළ ළිං, වැව් සහ වාරි මාර්ග ආදිය ඉදිකර තිබේ. ඊට අමතරව සමාජයේ පොදු අවශ්‍යතා ඉටුකරලීම සඳහා ආධාර වන පොදු සේවාවන්ට අයත් දේපල කොතෙකුත් තිබෙන්නට පුළුවනි. මේවා ආරක්ෂා කරගනිමින් ප්‍රයෝජනයට ගැනීම සෑම යහපත් පුරවැසියකු ම සතු ගුණාංගයක් වේ. පොදු දේපල සුරැකීම නිසා අත්වන ප්‍රයෝජන රාශියකි. ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව සැපයීමට හැකිවීම, නැවත අලුත්වැඩියාව සහ නඩත්තුව සදහා යන වියදම් ඉතිරි වීම නිසා එම මුදල් තවදුරටත් සංවර්ධනයට දායක කර ගත හැකි වීම, හොඳ ජීවන තත්වයක් ලඟා කර ගැනීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරගැනීම, ඒවා අනාගත පරපුරට ප්‍රයෝජනයට ගත හැකි පරිදි ආරක්ෂා වීම එවැනි ප්‍රයෝජන කිහිපයකි.
පොදු දේපල සුරැකීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දූලා පුතාලා දැන්වත් ද. පොදු දේපළ ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් සහ යුතුකමක් ලෙස සලකා කටයුතු කිරීම, පොදු දේපළ අයුතු ලෙස භාවිතා කිරීමෙන් වැළකීම, භාවිතා කිරීමේ දී කැඩී බිඳී යාමෙන් ආරක්ෂා කිරීම, අන් අයට ද භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම, පොදු දේපලක් පෞද්ගලිකව අත්පත් කර නොගැනීම, පොදු දේපල භාවිතා කිරීමේ දී එය නඩත්තු කරන ආයතනයට නියමිත ගෙවීම් කිරීම, ඔබට වැළැක්විය නොහැකි ලෙස පොදු දේපල වලට හානි වන අවස්ථාවක එය ඊට වගකිව යුතු ආයතනයට දැනුම් දීම, පොදු දේපල වල වැදගත්කම පිළිබඳ අන් අය දැනුවත් කිරීම යනාදිය එවැනි පොදු දේපල සුරැකීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
35801 Views
Comments