වෙන්වුණු හැමෝම එකතු කරන Zoom....
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

වෙන්වුණු හැමෝම එකතු කරන Zoom....

වෙන්වුණු හැමෝම එකතු කරන Zoom....

මේ වන විට ලොව පුරාම දහස් සංඛ්‍යාත ජීවිත ගණනක් බිලිගනිමින් සීග්‍රයෙන් පැතිරී යන වෛරස් මාරයා නව කොරෝනා වෛරසයයි. ඒ හේතුවෙන් ලොව පුරාම රටවල් වල පුද්ගලයන්ට තම නිවෙස් වලටම කොටු වී සිටින්නට සිදුවිය. මක් නිසාද මෙම වසංගතය පාලනය කිරීම සඳහා පවතින එකම පිළිසරණ වන්නේ සමාජ දුරස්ථකරණය නිසාවෙන්. නමුත් මේ වන විට ලොව බොහෝ රටවල් එරට පුරවැසියන්ට දැමූ දුරස්ථකරන නීති රීති බොහෝ දුරට ලිහිල් කරමින් පවතී. එහෙත් පනවන ලද සියලුම නීතිරීති තවමත් සම්පූර්ණයෙන්ම ඉවත් කර නොමැති බැවින් බොහෝ දෙනෙකුගේ වැඩකටයුතු වලට තවමත් බාධා ඇති වෙමින් පවතී. මෙලෙස වෙන් වී ඇති සියලු දෙනාටම නැවත එකට එකතු වීම සඳහා භාවිතා කළ හැකි නවතම ඇප් එකකි Zoom. අපි අද ඒ ගැන කතා කරමු.

 

වෛරස අවදානම හේතුවෙන් සෑම තැනකම සිටින ජනයා නිවෙස් වල රැඳී සිටින නිසාවෙන් දුරස්ථ අධ්‍යාපනය, ශරීර සුවතා වැඩසටහන්, ආගමික දේශන, විවාහ උත්සව ඇතුළු විවිධ උත්සව මෙම app එක හරහා පැවැත්වීමට හැකියාවක් තිබේ. Zoom යනු ශ්‍රව්‍ය හෝ වීඩියෝ සම්මන්ත්‍රණ සඳහා බහුලව භාවිතා වන වෙබ් සම්මන්ත්‍රණ වේදිකාවක්. එනම් web conferencing platform එකක්. එය එකින් එක හෝ කණ්ඩායම් ඇමතුම් සඳහා නිර්මාණය කර ඇති අතර ඒවා පටිගත කිරීමේ හැකියාවද පවතී. වට්ස්අප්, මැසෙන්ජර් සහ google hangout ඇතුළු සියලුම සමාජ මාධ්‍ය ජාලය හරහා මේ දිනවල වීඩියෝ ඇමතුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇතත් Zoom app එක ඒ අතර තරුවක් බවට පත් වී තිබේ. මේ හරහා වීඩියෝ සමුළුවකට එකවර සිය දෙනෙකුට සහභාගි වීමට ඉඩ සලසන අතර මිනිත්තු හතළිහක් නොමිලේ ලබාදෙයි. ඉන් වැඩි වන කාලයට සුළු මුදලක් අය කරනු ලබයි. රටවල් ගණනාවක ගුරුවරුන් දැන් මෙම ඇප් එක භාවිතයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ඔබ දන්නවාද. ශ්‍රී ලංකාව තුළද පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ට මෙම app එක හරහා ඉගැන්වීම් කටයුතු කිරීමේ හැකියාවක් පවතී. එහිදී එකම වේලාවකදී සිසුන් ඇප් එකට සම්බන්ධ කරගෙන වීඩියෝ තාක්ෂණය යොදා ගැනීමෙන් ඉගැන්වීම් කටයුතු පහසුවෙන්ම කරන්ට පුළුවන්.

 

එමෙන්ම බොහෝ රටවල මේ දින වල පවත්වන රාජ්‍ය සාකච්ඡා සහ සමුළු සඳහා යොදා ගන්නේද මෙම zoom app එකයි. එමෙන්ම පසුගිය දිනවල නඩුවාර කැඳවීමටත් නඩු ඇසීමටත් තීන්දු ලබා දීමටත් මෙම ඇප් එක යොදාගෙන තිබේ. මෙම ඇප් එක අද වන විට භාවිතා වන විශාලතම අන්තර්ජාල රැස්වීම් මෙවලම් වලින් එකක් වන අතර සමහර ප්‍රවීනයන් තක්සේරු කරන්නේ සමාගමට මිලියන 13ක් පමණ ක්‍රියාකාරී පරිශීලකයන් සිටින බවයි. මෙම ඇප් එක playstore එකට ඇතුළත් කර වසර කිහිපයක් ගත වී ඇතත් එයට වැඩිම පරිශීලක පිරිසක් එකතු වූයේ මෙම වසංගත සමයේදී. 2019 වර්ෂයේ දී පරිශීලක සංඛ්‍යාව මිලියන දෙකකින් වර්ධනය වූ නමුත් 2020 මුල් මාස කිහිපය තුළ දැනටමත් තවත් මිලියන 2.22 ක් එකතු වී තිබේ. ඔබ දුරස්ථව වැඩ කරන අයෙක් නම් ඔබට ඔබගේ සේවාදායකයන් සමග සම්බන්ධ වීමට ද zoom යොදාගන්න පුළුවන්. මෙම ඇප් එක මගින් Zoom room, vedio webinars සහ phone systems වැනි සේවාවන් ගණනාවක් සැපයුවද එහි මූලික සේවාව වන්නේ බොහෝ දෙනා හඳුන්වන zoom meeting. zoom meeting එකක් යනු දෙදෙනෙකුට හෝ වැඩි ගණනකට ඔන්ලයින් ක්‍රමයට සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්මන්ත්‍රණ වේ. මේවා ඕනෑම කෙනෙකුට ආරම්භ කර ඕනෑම කෙනෙකු අතර බෙදා ගන්නටත් පුළුවන්.

මෙම zoom app එකේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහි දෙවන ලිපියෙන් ඔබව දැනුවත් කරන්නට අපේක්ෂා කරමු.

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooriyaarachchi

Photo Source : Internet

views

948 Views

Comments

arrow-up