ICC නව සභාපතිවරයා නවසීලන්තයේ ග්‍රෙග් බාක්ලේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා නවසීලන්තයේ ග්‍රෙග් බාක්ලේ සුදුසුකම් ලබා තිබෙනවා.
ඔහු ඉදිරියේ පරාජයට පත් වූයේ දැනට වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජායි. පසුගිය ජූලි මාසයේදී, සභාපතිවරයා ලෙස කටයුතු කළ ශෂන්ක් මනෝහාර් තනතුරින් ඉල්ලා අස් වූ අතර ඉන්පසු වැඩබලන සභාපතිවරයා ලෙස ඉම්රාන් කවාජා පත් කෙරිණි.
නව සභාපති තනතුර සඳහා නවසීලන්තය නියෝජනය කරමින් ග්‍රෙග් බාක්ලේ ඉදිරිපත් වූ අතර ඉම්රාන් කවාජා ස්වාධීනව එම තනතුරට තරග කළේය.
නව සභාපතිවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී බාක්ලේ ඡන්ද 10 ක් සහ කවාජා ඡන්ද 06 ක් ලබා ගැනීමට සමත් විය.
කෙසේ නමුත් සභාපති තනතුරට සුදුසුකම් ලැබීමට තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට අවශ්‍ය වූ හෙයින් නැවතත් ඡන්ද විමසීමක් පැවැත්විණි.
එහිදී බාක්ලේ ඡන්ද 11 ක් දිනා ගනිමින් ඉදිරි වසර දෙකක කාලය තුළ ක්‍රිකට් ලෝකය තුළ නිළයෙන් බලවත්ම පුද්ගලයා බවට පත්වීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
බාක්ලේගේ සභාපතිත්වය යටත් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවසනවා.
විශේෂයෙන් රටවල් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලි තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් නව සභාපතිවරයා වැඩි කැමැත්තක් දක්වන අතර වැඩබලන සභාපතිවරයා ලෙස ඉම්රාන් කවාජා ඉදිරිපත් කළ, ලෝක මට්ටමේ තරගාවලි තවදුරටත් වැඩි කිරීමේ යෝජනාව යටපත් වනු ඇත.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන බාක්ලේ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස 2012 වසරේ සිට කටයුතු කළ අතර ඉන්පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවසීලන්ත නියෝජිතයා ලෙසද කටයුතු කළේය.
2015 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙසද ඔහු කටයුතු කළේය.
233 Views
Comments