කොරෝනා මැද ඇරඹෙන LPL

කොරෝනා මැද ලබන 26 වැනිදා සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සූදානමින් සිටින L P L ගැනයි මේ. සූරියවැව සහ පල්ලෙකැලේ යන ක‍්‍රීඩාංගණ දෙකේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම තරගාවලිය සෞඛ්‍ය උපදෙස් මත සූරියවැවට සීමා කෙරිණි. තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන්ට සහ වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට නිරෝධානය වීම සඳහා හම්බන්තොට නගරයේ හෝටල් තුනක් මේ වනවිටත් වෙන්ව පවතී. තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය ‘පොකුරක්’ ලෙස කටයුතු කරන අතර සූරියවැව ක‍්‍රීඩාංගණයේ 30 කට ආසන්න සේවකයන්ද නේවාසික ‘පොකුරක්’ ලෙස සේවය ආරම්භ කර තිබේ.
මෙම තරගාවලිය සඳහා කොළඹ කිංග්ස්, දඹුල්ල ලයන්ස්, යාපනය ස්ටැලියන්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ටස්කර්ස් ලෙස කණ්ඩායම් පහක් සහභාගි වෙයි. ලෝක විස්සයි20 ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබලයන් වන බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් වන ක‍්‍රිස් ගේල්, ඇන්ඩ්‍රි රසල් සහ පාකිස්තානු හිටපු ප‍්‍රවේගකාරී පිතිකරු සහීඩ් අෆ්රිඩි ඇතුළු විදේශ ක‍්‍රීඩකයන් 30ක් පමණ මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම ප‍්‍රබල ක‍්‍රීඩකයන්ට ඩොලර් 50,000 සිට තරග ගාස්තු හිමිවන අතර ක‍්‍රිස් ගේල් වැනි ක‍්‍රීඩකයන් කණ්ඩායම් හිමිකරුවන් සමඟ ඇතිකරගත් එකඟතාවන් මත තරගාවලියට සහභාගි වෙති. එම ක‍්‍රීඩකයන් ඩොලර් 75,000 සිට 100,000 දක්වා ගාස්තුවලට ක‍්‍රීඩා කරන බව වාර්තා වේ.
ක‍්‍රිස් ගේල් ඇතුළත්ව සිටින මහනුවර ටස්කර්ස් පිල ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ සොහොයුරකුට හිමි අතර යාපනය ස්ටැලියන්ස් පිල ශ්‍රී ලාංකික විශේෂඥ විස්තර විචාරකයකුගේ සහෝදරයකු මිලදී ගෙන ඇති බව වාර්තා වේ. පාකිස්තානු ජාතිකයකු හිමිකම් කියන ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට පාකිස්තානු ක‍්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුළත්ව සිටිති.
කොවිඩ් අවදානම දැඩිව පැවැති එංගලන්තය මීට මාස දෙකකට පමණ පෙර ක‍්‍රිකට් තරග ආරම්භ කළ පසුබිමක් තුළ ශ්‍රී ලංකාවද කොතැනින් හෝ තරග ආරම්භ කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි. නවසීලන්තය සහ පාකිස්තානය යන රටවල්ද ක‍්‍රිකට් තරග පැවැත්වීමට පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ වියදම් සඳහා රුපියල් කෝටි 23 කට අධික මුදලක් මේ වනවිට වෙන්කර තිබේ. තරගාවලියේ සමාරම්භක උත්සවය මේ මස 26 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර එම උත්සවයද අඩු පුද්ගල සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් මෙමෙ තරඟාවලිය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යලි නංවාලීමට ගන්නා උත්සාහයක් බව වාර්තා වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
240 Views
Comments