රටට කොවිඩ් 19 වයිරසය බෝකිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි - මරික්කාර්

රටට කොවිඩ් 19 වයිරසය බෝකිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාරගත යුතුබව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් චෝදනා කළා.
මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවැසීය. ‘එදා ඉඳන් අපි කිව්වා අහඹු පරීක්ෂණ කරලා රටේ මිනිස්සු සම්පූර්ණයෙන්ම මේකෙන් බේරගන්න කියලා. නමුත් ආණ්ඩුව කළේ අපි තමයි ලෝකෙන්ම කොරෝනා පාලනය කරපු දෙවැන්නා කිය කියා හිටපු එක. සමහරු කොවිඩ් දහනවය පාලනය කරපු නිසා ඡන්දෙ දෙන්න කියලත් බැනර් ගැහුවා. ඒ නිසා අද දෙවැනි රැල්ල ඇවිල්ලා.
කොරෝනා සමාජගත වෙලා නැහැ කිව්වට ජනගහනයට සාපේක්ෂව ව්‍යාප්තිය වැඩිම රටක් බවට අපේ රට පත්වෙලා. ඒ නිසා ආණ්ඩුව කයිය ගහන් ඉන්නේ නැතුව දැන්වත් මීට අවශ්‍ය පියවර ගත යුතුයි. අද පළමු සම්බන්ධතාවත් ගෙදර නිරෝධායනය කරන තත්ත්වයට පත්වෙලා. මගේ ආසනේ මාළු වෙළෙඳාම් කරපු අය මාළු කඩේට ගිහින් ආවා කියලා පී.එච්.අයි.ලට කිව්වම ඔවුන් ගෙවල්වලම නිරෝධායනය කරලා. පවුලේ අයව ගෙදර නිරෝධායනය කරන්න පුළුවන්.
නමුත් මාළු කඩේට ගිය මනුස්සයට පී.සී.ආර්. කරන්නේ නැහැ. එම්.ඩී.එච්.ගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇහුවාම කියනවා සතියකට එකපාරයි පී.සී.ආර්. කරන්නේ කියලා. පී.එච්.අයි.ලට පී.සී.ආර්. කිට් (පරීක්ෂණ කට්ටල) දෙන්නේ පහයි කියලා. එතකොට චීනෙන් හම්බවෙච්ච පී.සී.ආර්. කට්ටල විසිපන්දහට මොකද කළේ? මේ රටට කොරෝනා බෝ කළේ ආණ්ඩුව. අද ජනාධිපතිකමත් තියෙනවා. තුනෙන් දෙකත් තියෙනවා. විස්සෙන් ඒකාධිපති බලතල ටිකත් අරගත්තා.
පළාත් සභා ටිකත් අතේ තියෙනවා. පළාත් පාලන ආයතනවල බලයත් තියෙනවා. ඔක්කොම ටික තියෙනවනේ. ඒ නිසාවත් බෝකරපු කොරෝනාව නැතිකරන්නකෝ.’
652 Views
Comments