මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර, හෙට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි ?

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර හෙට (08) මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
ඒ, ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නීතිමය බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය අද ලබාදුන් නියෝගයක් සමඟයි.
ඒ අනුව හෙට පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරන්නේ.
ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේ මන්ත්‍රීවරයා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් ඇතුලු විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරි පත්වීම නීතිවිරෝධි බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බව එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියළු හිමිකම් භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා, ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී නොයන බවයි කියා සිටියේ.
පෙත්සම් විභාගය සඳහා අවසර ලබාදුන් අභියාචනාධිකරණය පෙත්සම යළි කැදවන මේ මස 29 වනදා එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරනු ලැබුවා.
668 Views
Comments