රෝහණ විජේවීර ඝාතනය කර අදට වසර 30යි !
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

රෝහණ විජේවීර ඝාතනය කර අදට වසර 30යි !

රෝහණ විජේවීර ඝාතනය කර අදට වසර 30යි !

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 30ක් සපිරෙයි.

 

තිස් වසරකට පෙර, 1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කළා. නමුත් මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.

 

 

1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ.

 

ජනාධිපතිවරණයට 1982 සැප්තැම්බර් 17 වැනිදා නාමයෝජනා දුන් අවස්ථාවේදී, එජාප ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රීලනිප හෙක්ටර් කොබ්බෑකඩුව සහ ජවිපෙ රෝහණ විජේවීර

 

1987 දී එළැඹුණු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම දේශපාලනික පියවරට විරුද්ධව ජනතාව නැගී සිටීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ ද සිය අරගල කිරීම් ආරම්භ කළා. විජේවීර ඇතුළු සාමාජිකයන් පිරිසක් රට පුරා විවිධ ස්ථානවල සැඟවී සිය සැලසුම් ක්‍රියාත්මක කළා.

 

 

මෙය සන්නද්ධ අරගලයක් වූ අතර, එවක සිදුවූ දෙපළ හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට විමුක්ති පෙරමුණ ද වගකිව යුතුයි.

 

මේ අතර එවක පැවති ආණ්ඩුව ද දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි සැක කළ තරුණ තරුණියන් විශාල පිරිසක් එවකට එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය සමයේදී ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වුණා.

 

මෙම කාලය තුළ රටපුරා වීදිවල ටයර් සෑ මත තරුණ මළසිරුරු පිළිස්සෙමින් තිබූ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.

 

 

1989 වසරේ උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අත්තනායක නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයට හැකිවුණා. එම අවස්ථාවේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටි රෝහණ විජේවීර අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ සිය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන ලෙස බව ශ්‍රීමති චිත්‍රාංගනී පසුව හෙළි කර තිබිණා.

 

අදටත් අභිරහසක්ව පවතින මෙම මරණය සිදු වූ ආකාරය ගැන සමාජයේ මත දෙකක් පවතිනවා.

 

විජේවීර බේරා ගැනීමට දැරූ උත්සාහයක දී පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක දී ඔහුට වෙඩිවැදී මියගිය බව ඉන් එක් මතයකි. නමුත් වඩාත් ප්‍රසිද්ධ මතය නම්, ඔහු අත්අඩංගුවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා, බොරැල්ල කනත්තේ දී වෙඩි තබා මියයන තෙක් පුළුස්සා දැමූ බවයි.

views

1115 Views

Comments

arrow-up